වියළි කහ කිලෝ 1628 ක් හා ගෘහස්ත විදුලි උපකරණ තොගයක් ගෙනා පස්දෙනෙක් අත්අඩංගුවට
මාධව කුලසූරිය - වවුනියාව
කල්පිටිය තුඩාව සහ මන්නාරම අරිප්පු වෙරළ ප්‍රදේශයන්හි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ කිලෝ 1628කට අධික තොගයක් සහ විදුලි උපාංග තොගයක් සමඟ සැකකරුවන් 05ක් සහ ඩීංගි යාත්‍රා දෙකක් 10 වැනිදා හා 11 වැනිදා අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසනවා.
නාවික හමුදාව පැවසූවේ වයඹ නාවික විධානයට අයත් නිළධාරීන් 10 වැනිදා රාත්‍රීයේ කල්පිටිය තුඩාව වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී තුඩාව වෙරළට පැමිණෙමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක්කිරීමේදී නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ උර 31ක අසුරා තිබූ වියලි කහ කිලෝ 1134ක තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් සහ නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ ගෘහ විදුලි පරිපථ සඳහා යොදා ගන්නා විදුලි උපාංග සහිත තවත් උර දෙකක්ද අත්අඩංගුවට ගත් බවයි.
එලෙසම උතුරු මැද නාවික විධානයට අයත් නිළධාරීන් 11 වැනිදා අලුයම අරිප්පු මෝය ප්‍රදේශයේ සිදු කළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී අරිප්පු වෙරළට පැමිණෙමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කොට නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ උර 17ක අසුරන ලද තවත් වියලි කහ කිලෝග්රැම් 494 ග්‍රෑම් 100ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බවද නාවික හමුදාව පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26 ත් 45ත් අතර වයසේ පසුවන කල්පිටිය සහ පේසාලෙයි යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට අනාවරණය කරගෙන ඇති බවද නාවික හමුදාව වැඩිදුරටත් පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන්, වියලි කහ තොගය, ගෘහ විදුලි පරිපථ සදහා යොදා ගන්නා විදුලි උපාංග සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇති අතර, අරිප්පු මෝය ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.
Hits: 1