ගෘහ ආර්ථිකය සවිබල ගැන්වීමට නව වැඩපිළිවෙළක්

සජිත් ගයාන් උබේපාල - මැදවච්චය

0 41

කාබනික පොහොර යොදමින් එළවළු සහ පළතුරු නිෂ්පාදනය කිරීම දිවයින පුරා ආරම්භ කරමින් ගෘහ ආර්ථිකය සවිබල ගැන්වීමට කටයුතු කරන බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මුල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

2021/22 මහ කන්නය වෙනුවෙන් ජාතික ගෙවතු වගා වැඩපිළිවෙළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආරම්භ කරමින් රාජ්‍ය ඇමති වරයා එසේ කියා සිටියා.

එහි සමාරම්භය පසුගිය ඊයේ (11) දා අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති මහා විහාරයේදී සිදු කෙරිණි.

එම අවස්ථාව සඳහා උතුරු උතුරුමැද දෙපලාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය නුගේතැන්නේ පඣ්ඣානන්ද ස්වාමීන් වහන්සේ, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන කේ.පී.එස් කුමාරසිරි, උද්ධික ප්‍රේමරත්න, හිටපු අමාත්‍ය එච්.බී. සේමසිංහ, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ශක ඩබ්ලිව්.ඒ වසන්ත, සහකාර අධ්‍යක්ෂක මහින්ද වීරකෝන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රතිලාභී මහත්ම මහත්මීන් සහභාගි වී තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්ම අනුව “ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත් වන පවුලක්” සංකල්පයට අනුව දිවයිනේ ග්‍රාම සේවා වසම් 14,022 ම ආවරණය වන පරිදි පවුල් ඒකක ලක්ෂ දස දහසක් මේ යටතේ සවිබල ගැන්වීමට නියමිතයි.

එම පවුල් දක්වන කැමැත්ත අනුව ගෙවතුවල ඇති ඉඩ සහ දේශගුණික ලක්ෂණ මත බෝග වර්ග තෝරා ගැනීම සිදු කෙරේ.

දෛනික පරිභෝජනයට අවශ්‍ය එළවළු සහ පළා වර්ග සඳහා මෙහිදී ප්‍රමුකත්වය හිමිවේ.

මීට අමතරව වැල් බෝග, අල වර්ග, අපනයන බෝග සහ කුළු බඩු ඖෂධ සහ සත්ව පාලනය කෙරෙහි ද මේ යටතේ පහසුකම් සැලසීමට රජය අවධානය යොමු කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ මහතා,

මෙම ව්‍යාපෘතියේ අතුරු ප්‍රතිපලයක් ලෙස ඇති වන කාබනික පොහොර අවශ්‍යතාව ගෙවතු තුළින් ම සපයා ගැනීමට අපි බලා පොරොත්තු වෙනවා.

ඒ අනුව සෑම ග්‍රාම සේවා වසමකම ස්වයං රැකියාවක් ලෙස පොහොර නිෂ්පාදනය සිදු කිරීමට ද පහසුකම් සැලසීම අපේ අපේක්ෂාවයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම ප්‍රවර්ධනය දෙපාර්තමේන්තුව, ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, පොල් වගා කීරීමේ මණ්ඩලය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව යන සියලු අමාත්‍යාංශ එක්වයි මෙම ජාතික ගෙවතු වගා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ.

මේ අපි ගන්නා සෑම තීන්දු තීරණයක් තුළම ග්‍රාමීය ජනයා ශක්තිමක් කිරීම, ඒ වගේම ආර්ථික වශයෙන් ස්වයං පෝෂිත කිරීමයි අපගේ අපේක්ෂාව.

සෑම ගෙදරකම තමන්ට දෛනිකව අවශ්‍ය බෝග ටික නිෂ්පාදනය වෙනවානම් අපි දන්නෙම නැතිව දිනක ශක්තිමත් පවුලක් වෙලා.

අන්න ඒ තැනට මෙරට ජීවත් වෙන සියලු දෙනා ගෙනියන්නයි රජයක් වශයෙන් අපි මේ කටයුතු කරන්නේ.

 

 

 

Hits: 2

You might also like
Comments
Loading...