ඇතැම් වී මෝල් හිමිකාරයෝ ගොවි ජනතාව මිනිස් පලියක් විදිහට පාවිච්චි කරනවා

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ

0 17

පාරිභෝගික ජනතාවට සහනදායි මිලට සහල් ලබාගැනීමේ හැකියාව ද ගොවි ජනතාවට වී සඳහා උපරිම මිලක් ලබාදීමට ද කටයුතු කළ යුතු අතර වී මෝල් හිමියන් කරන ගසාකෑම නතර වීම ද සිදු විය යුතු බව පළාත් සභා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. 

රාජ්‍ය අමාත්‍යවරයා එසේ පවසා සිටියේ, ඊයේ (16) මැදිරිගිරිය මැණික්හොරොව්ව‍ ප්‍රාථමික විද්‍යාලයේ උදාරගම පාසල් මාවතට කාපට් ඇතිරීමේ අවස්ථාවට සහභාගී වු අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිලිතුරු ලබාදෙමිනි.

කිලෝමීටර 3.39 කින් යුත් මාර්ගය කාපට් ඇතිරීම සඳහා රුපියල් මිලියන 74 ක් වෙන් කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එහිදී වැඩිදුරටත් මෙලෙස කියා සිටියා.

ගොවි ජනතාව මිනිස් පලිහක් විදිහට භාවිතා කරමින් වී මෝල් හිමියන් ගේ මේ මාෆියාව නතර විය යුතුයි. ඇතැම් වී මෝල් හිමියන් සිදුකරන ගසා කෑම නතර විය යුතුයි. ඒ කාරණය මම එහෙම කියනකොට සමහරු පෞද්ගලිකව මා සමග උරණ වෙනවා.

කිරි සම්බා වී කිලෝවක් රුපියල් 98කට මිලදී අරගෙන සියලු නිෂ්පාදන වියදම් ඉවත් කරලා රුපියල් එකසිය හැටකට සහල් වෙළඳපලට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම නාඩු වී කිලෝව රුපියල් හැටට ගත්තත් සහල් කිලෝව රුපියල් 130 ට දෙන්න පුළුවන්. පහුගිය කාලේ කීරි සම්බා සහල් කිලෝ එක වෙළඳපලේ විකිණුවේ රුපියල් 230 ක් වැනි මිලකට. ඒ මඟින් පාරිභෝගිකයා දැඩි අපහසුතාවයට පත් වුණා.

ගොවි ජනතාව නියෝජනය කරන පුද්ගලයෙක් විදිහටත්, ගොවි පවුලකින් පැවත එන පුද්ගලයෙක් විදිහටත් මට ගොවි දෙමාපියන්ගේ කැක්කුම හොඳට තේරෙනවා. ඒ නිසා මා හැම විටම වී වලට උපරිම මිලක් ලබා ගැනීමට කටයුතු කරනවා .ඒ මඟින් ගොවි ජනතාව ශක්තිමත් වෙනවා.

ඒ වාගේම පාරිභෝගික ජනතාවත් අපි ආරක්ෂා කරගත යුතුයි. සහල් සඳහා සාධාරණ මිලක් තිබිය යුතුමයි. අපේ රටේ වැඩිපුර සහල් පරිභෝජනය කරන ජනතාවක් ඉන්නේ. රටේ තියෙන වී නිෂ්පාදනය නිසි ලෙස කළමනාකරණය කරගත්තොත් සහල් සාධාරණ මිලට වෙළඳපලට ලබා දෙන්න පුළුවන්. ඒ මගින් පාරිභෝගික ජනතාව ආරක්ෂා කර ගත හැකි.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් හිටපු අමාත්‍ය පුංචිබණ්ඩා රත්නායක මහතා , මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ සභාපති ශාන්ත කුමාර වික්‍රමසිංහ මහතා, මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී නිතිඥ ඉමාලි විදානගමගේ, මන්ත්‍රි පුබුදු ප්‍රියංකර, ධම්මික රත්නායක යන මහත්ම මහත්මින් ද, මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ ලේකම් ඉන්දික කරුණාරත්න මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරු (පොලොන්නරුව) එච්. පී. එල්. ජයතිලක මහතා විධායක ඉංජිනේරු (හබරණ) එස්.කේ.ඊ. සමරකෝන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

You might also like
Comments
Loading...