දැනට රටපුරා ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරන්නේද නැද්ද යන තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
නිරෝධායන ඇඳිරි නීතිය පනවලා අදට හරියටම දවස් 28 ක් වෙනවා. ඇදිරි නීතිය කඩ කරන පුද්ගලයින් නීතියේ රැහැනට කොටු කරගන්න ආරම්භ කළ මෙහෙයුම් තවදුරටත් එලෙසින්ම ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ.
කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් එය පාලනය කිරීමට ගත් ක්‍රියාමාර්ගවල එක් පියවරක් ලෙස දිවයිනට ම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇදිරි නීතිය පනවනු ලැබුවේ පසුගිය මස 20 වනදායි. එය පසුගිය 30 වනදා අලුයම 4ට ඉවත් කිරීමට නියමිතව තිබුණද එය පසුගිය 6 වනදා දක්වා යළි දීර්ඝ කිරීමටයි තීරණය කෙරුණේ. පසුගිය 03 වනදා පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමෙදි ද එය යළි 13 වනදා අලුයම 4 දක්වා දීර්ඝ කෙරුණු අතර පවත්නා තත්ත්වය සැළකිල්ලට ගෙන නිරෝධායන ඇදිරි නීතිය 13 වනදා දක්වා යළි දීර්ඝ කෙරුණා.
එදිනද ඇදිරි නීතිය යළි ඉවත් නොකර 21 වනදා අලුයම 4 දක්වා දීර්ඝ කිරීමටයි පියවර ගැණුනේ. මෙම නිරෝධායන ඇදිරිනීතිය පැනවීම හමුවේ මේ වන විට කොරෝනා රෝගීන් වාර්තා වීමේ හා මරණ වාර්තා වීමේ යම් අඩුවක් දක්නට ලැබෙන අතර රට යළි විවෘත කිරීමට ද අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව හෙට දිනයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී නිරෝධායන ඇදිරි නීතිය යළි දීර්ඝ කරනවාද එසේ නොමැතිනම් සංචරණ සීමා මධ්‍යයේ රට විවෘත කරනවාද යන්න තීරණය කෙරෙනු ඇති.
කෙසේවුවද එම තීරණය ගනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන දත්ත සැළකිල්ලට ගනිමින් බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. රට විවෘත කරනවානම් ඒ සදහා පැනවිය යුතු සීමා පිළිබද නිර්දේශ කිරීමට කණ්ඩායමක් ද පත්කර තිබෙනවා.
Hits: 0