එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසියට සහභාගීවීමට ජනපති අමෙරිකාවට යයි

0 40

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාවේ, නිව් යෝර්ක් නුවර බලා අද(18) අලුයම පිටත්ව  ගොස් තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ  දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට ජනාධිපතිවරයා සහභාගී වන සහ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී රාජ්‍ය නායක සමුළුව අමතන පළමු අවස්ථාව මෙය බවයි.  

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ප්‍රධානත්වයෙන් ලබන 21 වැනිදා මෙම සමුළුව ආරම්භ කිරීමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ මෙවර තේමාව “කොවිඩ් 19 – වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම” යන්නයි.

ලබන 22 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව ඇමතීමට නියමිත යි.

සැසිවාරය අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරුන්ද ජනාධිපතිතුමා සමග සංචාරයට එක්ව සිටිනවා.

Hits: 2

You might also like
Comments
Loading...