ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමක් මඟින් පසුගිය 10 වන දින අත්අඩංගුවට ගන්නා ලද රුපියල් මිලියන 1575කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 170 ග්‍රෑම් 866ක තොගයක් (ඇසුරුම් බර සහිතව) රැගත් විදේශීය ධීවර යාත්‍රාවක් සහ විදේශීය ජාතික සැකකරුවන් 09 දෙනෙකු අද (18) උදෑසන කොළඹ වරාය වෙත රැගෙන එනවිත් තිබෙනවා.
මීට පෙර නාවික හමුදා බුද්ධි අංශය, රාඡ්‍ය බුද්ධි සේවය හා එක්ව සිදුකළ බුද්ධි මෙහෙයුමකට අනුව ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් අත්අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 290 ග්‍රෑම් 200ක පමණ තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) පසුගිය අගෝස්තු 31 වන දිනත්, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදාව සිදු කළ තවත් මෙහෙයුමක් මඟින් අත්අඩංගුවට ගත් හෙරෝයින් මත්ද්‍රව්‍ය කිලෝ 336යි ග්‍රෑම් 300ක පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය බහු දින ධීවර යාත්‍රාවක් සමඟ විදේශීය සැකකරුවන් හත් දෙනෙකු (07) පසුගිය සැප්තැම්බර් 04 වන දිනත්, ගොඩබිමට රැගෙනවිත් වැඩි දුර විමර්ශණ සිදු කර තිබෙනවා.
ඒ අනුව, වැඩිදුර විමර්ශණ වලදී අනාවරණය වූ තොරතුරු මෙන්ම ශ්‍රී ලංකා පොලීසිය මගින් ලබා දෙන ලද බුද්ධි තොරතුරු ද පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාව ජාත්‍යන්තර මුහුදේ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී, ගොඩබිම සිට නාවික සැතපුම් 850 ක පමණ දුරින්(කිලෝ මීටර් 1574ක් පමණ) ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු විදේශීය ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී.
එම පරීක්‍ෂාවේදී එම බහුදින යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ පාර්සල් 150ක අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 170 ග්‍රෑම් 866ක පමණ (ඇසුරුම් බර සහිතව) ප්‍රමාණයක් සහ අබිං නැමැති මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 306ක ප්‍රමාණයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය.
අනතුරුව, එම විදේශීය බහුදින ධීවර යාත්‍රාව සමඟ එහි සිටි විදේශීය ජාතික සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලද අතර, එලෙස අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය රැගත් විදේශීය ධීවර යාත්‍රාව සහ සැකකරුවන් අද (18) උදෑසන ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ නෞකාවේ ආරක්ෂාව යටතේ කොළඹ වරාය වෙත මෙලෙස රැගෙන ඒමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
බහුදින ධීවර කටයුතු සිදුකරන මුවාවෙන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදවනු ලබන ධීවර යාත්‍රාවන් වෙත ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය හුවමාරු කර ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා අත්අඩංගුවට ගත් මෙම විදේශීය බහු දින ධීවර යාත්‍රාවද ජාත්‍යන්තර මුහුදේ ස්ථානගතකර තැබීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සැළසුම් කරන්නට ඇතැයි සැකකෙරේ.
තවද, 2021 අගෝස්තු මස 30 වන දින සිට මේ දක්වා නාවික හමුදාව විසින් සිදු කරන ලද ප්‍රධාන මත්ද්‍රව්‍ය වැටලීම් මඟින් පමණක් අත්අඩංගුවට ගත් හෙරෝයින් මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් බිලියන 07කට ආසන්න වෙතැයි විශ්වාස කෙරේ.
පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකළ මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා ලද විදේශ ජාතික සැකකරුවන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර නොමැති අතර, අත් අඩංගුවට ගත් හෙරෝයින් මත්ද්‍රව්‍ය, විදේශීය ජාතික සැකකරුවන් සහ විදේශිය බහුදින ධීවර යාත්‍රාව සම්බන්ධ ඉදිරි නීතිමය කටයුතු සහ වැඩිදුර විමර්ෂණ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කිරීමට නියමිතයි.
පවත්නා වසංගත තත්වය හමුවේ වුවද මත්ද්‍රව්‍ය මෙරටින් පිටුදැකීමේ ජාතික අභිලාෂය ශාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරට නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් හා එක්ව දේශයේ ප්‍රථම ආරක්‍ෂක වළල්ල ලෙස තම රාජකාරිය නොපිරිහෙලා ඉටුකරමින් ඉදිරියටත් මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදු කරනු ලබයි.
Hits: 2