”ජනතාව තුළ මා කෙරෙහි අප්‍රසාදයක් ඇතැයි පිළිගන්නවා” – ජනපති

0 33

”ජනතාව මා කෙරෙහි, රජය කෙරෙහි ඔවුන් බලාපොරොත්තු වුණු ආකාරයට වැඩ වුණේ නැහැ කියන එක ගැන ඔවුන්ගේ අප්‍රසාදයක් තියෙනවා. මම ඒක පිළිගන්නවා. මම විතරක් නොවෙයි සියලු මැති ඇමැතිවරු ඒක පිළිගන්න ඕනෑ.

වසංගත තත්ත්වය පාලනය කරලා නව සාමාන්‍ය තත්ත්වයක් යටතේ මේ රට විවෘත කළා නව ජවයකින් රට ඉදිරියට ගෙන යන්න මම ජනතාව වෙනුවෙන් පොරොන්දු වෙනවා. සියලුදෙනාම එක්ව එකට කටයුතු කරන්න ඕනෑ.

එදා මම පොරොන්දු වුණු, විශේෂයෙන්ම නව ව්‍යවස්ථාවක් ලබාදීම ඊළඟ අවුරුද්ද ඇතුළත කරනවා. විශේෂයෙන් ජනතාව බලාපොරොත්තු වුණු නව ඡන්ද ක්‍රමයක් මම ඇති කරනවා. එක රටක්, එක නීතියක් ගේනවා කිව්වා. මම මේ අවුරුද්ද ඇතුළත ඒ පොරොන්දුව ඉටුකරනවා.”

අනුරාධපුර සාලිය පුර ගජබා රෙජිමේන්තුව පිහිටි පරිශ්‍රයේ 72 වන යුද්ධ හමුදා සැමරුම් උත්සවයේදී ඉහත සඳහන් පරණ පොරොන්දු කිහිපයක් යළි සිහිගැන්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරි වසර කිහිපය තුළ මෙරට “සෞභාග්‍යය” කරා ගෙන යෑමට සියලු දෙනාගේ ම සහයෝගය බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේ ය.

ජනාධිපතිවරයාගේ හමුදා සේවයේ ඉතිහාසයත්, ජනාධිපති ධූරය දක්වා පැමිණි ගමනත් ගැන ද කරුණු දක්වමින් ඔහු සිහිපත් කළේ හමුදා සේවයේ වැඩි කාලයක් සේවය කළ ගජබා රෙජිමේන්තුව පිහිටි ස්ථානයට පැමිණීම මහ ගෙදරට ආවා වගේ දැනෙනවා’යි කී ය.

“ලංකා ඉතිහාසයේ පළමුවතාවට දේශපාලනඥයෙකුගෙන් තොරව රටේ සේනාධිනායකයා බවටත්, ජනාධිපතිවරයා බවටත් පත්වන්නට හැකිවීම ගැන මම ආඩම්බර වෙනවා” යැයි ප්‍රකාශ කළ ජනාධිපතිවරයා හමුදාවේ 72 වන සැමරුම අමතමින් මෙසේ ප්‍රකාශ කළේ ය.

“අද හමුදා දිනය වෙනුවෙන් මෙම ස්ථානයේ පැවැත්වුණු පෙළපාළියට සහ අනෙකුත් උත්සවවලට සහභාගි වීමට ලැබීම පිළිබඳ මම සන්තෝෂ වෙනවා. මම තරුණයෙකු හැටියට මගේ ජීවිතය ආරම්භ කළේ යුද්ධ හමුදාවෙන් නිසා. මම යුද්ධ හමුදාවේ අවුරුදු 20ක් සේවය කළා. ඊට පස්සේ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් අවුරුදු 10ක් සේවය කළා. මම මුලින් ම හමුදා ජීවිතය ආරම්භ කළේ සංඥා බළකායෙන්. ඊළඟට මම සිංහ රෙජිමේන්තුවේ සේවය කළා. ඊට පසුව මේ ස්ථානයේ ජෙනරාල් ඩෙනිස් පෙරේරා හමුදාපතිවරයා වශයෙන් ඉන්න කාලයේ ‘රජරට රයිෆල්’ කියලා අලුත් රෙජිමේන්තුවක් පටන් ගත්තා. මම එකේ ආරම්භක නිලධාරියෙක් හැටියට පැමිණියා. මේ භූමිය තෝරාගත්තෙත් මමයි.

අද සමහර ගොඩනැගිලි ගොඩක් වෙනස් වෙලා. ඊට පස්සේ ගජබා රෙජිමේන්තුව වුණා. මම තරුණ නිලධාරියෙකු හැටියට ගජබා රෙජිමේන්තුවේ තමයි වැඩි කාලයක් සේවය කළේ. මේ ස්ථානයට පැමිණීම මම මහගෙදරට ආවා වගේ දැනෙනවා.

විශේෂයෙන් ම ගජබා රෙජිමේන්තුවේ තමයි, එහි නායකත්වය දැරූ ජෙනරල් විජය විමලරත්නගේ නායකත්වය, මඟ පෙන්වීම යටතේ මම, ආරක්ෂක ලේකම්තුමා, යුද්ධ හමුදාපතිතුමා අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අපි සියලු දෙනා ම හමුදාව කියන්නේ මොකක් ද? නායකත්වය කියන්නේ මොකක් ද? නොබියව සටන් කරන්නේ කොහොම ද? හමුදාවක් පුහුණු කරන්නේ කොහොම ද? රට වෙනුවෙන් හමුදාවක් මෙහෙයවන්නේ කොහොම ද? කියලා අපි ඉගෙන ගත්තේ ජෙනරල් විමලරත්නගේ යටතේ මේ ස්ථානයේ.

ගජබා රෙජිමේන්තුවේ, මේ ස්ථානය ගැන මට හරිම ආඩම්බරයි. අපේ ලංකා ඉතිහාසයේ පළමුවතාවට දේශපාලනඥයෙකුගෙන් තොරව රටේ සේනාධිනායකයා බවටත්, ජනාධිපතිවරයා බවටත් පත් වෙන්නට හැකිවීම ගැන මම ආඩම්බර වෙනවා. එහෙම කරන්න පුළුවන් වුණේ, මම හමුදාවේ නිලධාරියෙකු හැටියට රට වෙනුවෙන් ඒ යුතුකම ඉටු කළා නිසා. ආරක්ෂක ලේකම්වරයා, හැටියට මගේ යුතුකම ඉටු කළා. ඒ නිසා තමයි ජනතාව මා කෙරෙහි විශ්වාසය තියලා මාව මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කරගත්තේ. තමුන්නාන්සේලා සියලු දෙනාට ඒක ආඩම්බරයක් කියලා මම හිතනවා.

විශේෂයෙන් ම අද ත්‍රිවිධ හමුදාවට ම ස්තූතිවන්ත වෙන්න ඕනෑ. මේ රටේ පසුගිය වසර දෙක තුළ ඔබ කළ සේවය ගැන. අපි මුහුණ දුන්න කොවිඩ් වසංගතය පාලනයට ඔබ කළ කැපවීම ගැන. සෞඛ්‍ය සේවය සහ අනෙකුත් අය සමඟ විශේෂයෙන් නිරෝධායන කටයුතුවලදී ඒ වගේම එන්නත ලබාදීමේදී ඔබ කළ සේවය ඉතාමත් විශිෂ්ටයි.

කොවිඩ් වසංගතය පාලනයට එන්නත ලබාදීමේදී අපි ලෝකයේ ඉහළ තැනක සිටින රටක් බවට පත් වෙන්නට පුළුවන් වුණේ ඔබ කළ සේවය නිසයි. මම ඒ වෙනුවෙන් සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේ ම මම බලයට ආවට පස්සේ කිව්වා මේ රටේ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් දීලා වැඩ කරනවා කියලා. මම ප්‍රතිපත්තියක් හැටියට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා. ඊට අවශ්‍ය සුදුසු නිලධාරීන් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් හෝ වේවා හමුදාපතිවරුන් වශයෙන් හෝ වේවා බුද්ධි නිලධාරීන් වශයෙන් හෝ සුදුසුම නිලධාරීන් මම ඒ ස්ථානවලට පත් කරලා තියෙනවා. ඒ වගේ ම ත්‍රිවිධ හමුදාවේ බුද්ධි අංශවල මානසිකත්වය මම ඉහළට ගෙනැල්ලා තියෙනවා. හමුදා නිලධාරීන්ට, බුද්ධි නිලධාරීන්ට පහර ගැසීම් නවත්වලා ඔවුන්ට තමන්ගේ රාජකාරිය කිරීමට අවශ්‍ය බලතල ලබා දීලා තියෙනවා. මේ රටේ නැවතත් කිසි ම ත්‍රස්තවාදයක් ඇති නොවන ආකාරයට ආරක්ෂාව තහවුරු කිරීම අපේ ප්‍රධාන වගකීමක්. අපි බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කළා. දැන් අපි ඒක ස්ථාවර කරන්න ඕනෑ. එයට හේතු වුණු කරුණුවලට අපි විසඳුම් දෙන්න ඕනෑ. එම පළාත් අපි දියුණු කරන්න ඕනෑ. ඒ පළාත්වල ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න අවශ්‍යයි. ඊළඟට අන්තවාදී ආගමික ත්‍රස්තවාදය මුළු ලෝකයේ ම පවතින දෙයක්. ඒකට අපි මුහුණ දෙන්න ඕනෑ. එවැනි දෙයක් මේ රට තුළ ඇති නොවන ආකාරයට කටයුතු කිරීම කිසි ම ආගමකට පහර ගැසීමක් නොවෙයි. අපි කවුරුත් දන්න ලෝකයේ ම දන්න අද පවතින තත්ත්වයක්. අපි ඒකට මුහුණ දෙන්න ඕනෑ. අපේ රට ආරක්ෂා කරගන්න ඕනෑ. මම එය ජනතාවට පොරොන්දු වුණු දෙයක්. මම එය ඉෂ්ට කිරීමට කැප වෙලා ඉන්නවා.

මම මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් ජනතාව පත් කර ගත්තේ විශාල බලාපොරොත්තු ඇතිව. මම පත්වුණු දවසේ ඉඳලා පසුගිය අවුරුදු දෙක තුළ ලෝක ඉතිහාසයේ කවදාවත් මුහුණ දුන්නේ නැති තත්ත්වයකට අපට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි පසුගිය අවුරුදු දෙක ම සටන් කළේ කොවිඩ් වසංගතය පාලනය කර ගන්නටයි. රට වසා තැබීම්, විවිධ පාලන මේවා නිසා අපේ ආර්ථිකය විශාල පසුබෑමකට පත් වුණා. මම නිදහසට කරුණු කියන්නේ නැහැ.

නමුත්, මේ තත්ත්වය යටතේ ජනතාව වෙනුවෙන් අපි විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. ජනතාව මා කෙරෙහි, රජය කෙරෙහි ඔවුන් බලාපොරොත්තු වුණු ආකාරයට වැඩ වුණේ නැහැ කියන එක ගැන ඔවුන්ගේ අප්‍රසාදයක් තියෙනවා. මම ඒක පිළිගන්නවා. මම විතරක් නොවෙයි සියලු මැති ඇමතිවරු ඒක පිළිගන්න ඕනෑ. නමුත් අපි කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කරලා නව සාමාන්‍ය තත්ත්වයක් යටතේ මේ රට විවෘත කරලා නව ජවයකින් මේ රට ඉදිරියට ගෙන යන්න මම ජනතාව වෙනුවෙන් පොරොන්දු වෙනවා. සියලු දෙනාම එක්ව එකට කටයුතු කරන්න ඕනෑ.

එදා මම පොරොන්දු වුණු, විශේෂයෙන් ම නව ව්‍යවස්ථාවක් ලබාදීම ඊළඟ අවුරුද්ද ඇතුළත කරනවා. විශේෂයෙන් ජනතාව බලාපොරොත්තු වුණු නව ඡන්ද ක්‍රමයත් මම ඇති කරනවා.

මම රුවැන්වෑලි සෑය වැඳ ගන්නට ගිය වේලාවේ පඩිපෙළ නගිනකොට තරුණ ස්වාමීන්වහන්සේ නමක් මට කිව්වා ජනාධිපතිතුමා එක රටක් එක නීතියක් ගේනවා කිව්වා අපි ඒ ගැන බලාගෙන ඉන්නවා කියලා. මම මේ අවුරුද්ද ඇතුළත ඒ පොරොන්දුව ඉටු කරනවා.

අපි හරිත කෘෂිකර්මාන්තයක් මේ රටේ ඇතිකරනවා කියන එක මම පොරොන්දු වෙච්ච දෙයක්. අපහසු වෙනස් කිරීමක්. ඔබතුමන්ලා බොහෝ පිරිසක් ගමෙන් පැමිණි පිරිසක් බව මම දන්නවා. මවුපියන්, නෑදෑයන් කෘෂිකර්මාන්තයේ නියැළෙන පිරිසක් බව මම දන්නවා. මම කාබනික පොහොර භාවිතයෙන් හරිත කෘෂිකර්මාන්තයක් බිහි කරන්නට පෙලඹුණේ එකක් එය මා දුන් පොරොන්දුවක්. දෙක එය තමයි හරි දේ. ජනතාව වෙනුවෙන් ඉදිරි පරම්පරාව වෙනුවෙන් අප කළ යුත්තේ එයයි. එය අමාරු දෙයක්. ගොවි ජනතාව වෙනුවෙන් මම සෑම විටම කැප වී වැඩ කරනවා. මොකද ජනගහනයන් 75%ක් පමණ ජීවත් වෙන්නේ ග්‍රාමීයව. ඉන් වැඩි දෙනෙකුගේ ජීවනෝපාය කෘෂිකර්මාන්තය. බලන්න කාටද වකුගඩු රෝගය තියෙන්නේ? කාට ද විවිධ රෝග තියෙන්නේ?

විශේෂයෙන් මේ ගොවි ජනතාව ජීවත්වෙන ප්‍රදේශවල. අපි රසායනික පොහොරවලින් අෑත්වෙලා අපේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් හරිත කෘෂිකර්මාන්තයක් සඳහා යන්න ඕනෑ. අපි තමයි ගොවියාට නොමිලේ පොහොර ලබා දුන්නේ. මම තමයි වී සහතික මිල රුපියල් 50ක් දක්වා වැඩි කෙරුවේ. මට අවශ්‍ය ඒ වැඩි ජනකොටසකගේ කර්මාන්තය වන කෘෂිකර්මාන්තයට ගොවි ජනතාවට ඔවුන්ගේ ආදායම වැඩි කරලා ඔවුන්ට හොඳ ජීවන තත්ත්වයක් ගත කරන්නට සලසා දීමටයි. මා ගැන විශ්වාසය තියන්න. අපි එකමුතුව මේ කාර්ය ඉටු කරමු.

ඒ වගේ ම මම පොරොන්දු වුණා පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපි රට ඉදිරියට ගෙනයනවා කියලා. අපිට තෙල් නෑ, අපට ගෑස් නෑ, අපට ගල්අඟුරු නෑ. අපට තිබෙන්නේ ජලය, සූර්ය බලය, සුළං. මේ දේවල් හරහා අපේ බලශක්තිය අපි දියුණු කරන්නට ඕනෑ.

යමෙකු කියනවා නම් නව ගල්අඟුරු බලාගාර ඉදි කරන්න කියලා එය විහිළුවක්. ඒකට මම සූදානම් නෑ. අද ලෝකය ම එයින් ඔබ්බටයි යන්නේ. අපි එය සඳහා කැප වෙන්නට ඕනෑ.

අද ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට විශේෂයෙන්ම මේ කඩාවැටිලා තියෙන සංචාරක කර්මාන්තය නැංවිය යුතුයි. විශාල ජනකොටසක් එයින් ජීවත් වෙනවා. විශාල විදේශ විනිමයක් අපට ලැබෙනවා. මේ සඳහා අපට කොවිඩ් පාලනය කර ගැනීම අවශ්‍යයි. ක්‍රමයෙන් දැන් විදේශිකයන් පැමිණීම ආරම්භ කරලා තියෙනවා. අපි අපේ ආර්ථිකය නඟාසිටුවීමට ඉදිරි වසර කිහිපය තුළ කැපවීමෙන් වැඩ කරනවා.

ජනතාව මගෙන් බලාපොරොත්තු වුණා දූෂණය නැති කරන්නට. මම හමුදා නිලධාරීන්ව විවිධ දෙපාර්තමේන්තුව ඉහළ තනතුරුවලට පත් කෙරුවේ ඒ බලාපොරොත්තුව ඇතිවයි. එය විශාල අභියෝගයක්. නමුත් අපි එය කරන්නට ඕනෑ. මොන තරාතිරමේ වුණත් ඇමැතිවරු වේවා මන්ත්‍රීරිවරු වේවා නිලධාරීන් වේවා රට වෙනුවෙන් අපි දූෂණය සම්පූර්ණයෙන් ම ඉවත් කරන්නට ඕනෑ. මම ආදර්ශයක් දී තිබෙනවා. මම කිසිදු ආකාරයකින් දූෂණයට යොමු වෙලා නෑ. යොමු වෙන්නෙත් නෑ. ජනාධිපතිවරයා වශයෙන් මම හැකිතාක් දුරට වියදම් අඩු කරලා තියෙනවා. මම ආදර්ශයක් දී තිබෙනවා. මම ඇමැති මණ්ඩලයෙන් ඉල්ලා සිටියා ඒ ආදර්ශයම ඔවුන්ටත් දෙන්න කියලා. මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ දූෂණය වැළැක්වීමට සහාය දෙන්න. මම නිලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා ජනතාව වෙනුවෙන් කාර්යක්ෂමව රාජ්‍ය සේවයේ වැඩ කරන්න කියලා. අපි ඉදිරි වසර කිහිපය තුළ මේ රට “සෞභාග්‍යය” කරා ගෙන යෑමට සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.

අද හොඳ පෙළපාළියක් පැවැත්වුණා. එයට මගේ ප්‍රසංශාව හිමි වෙනවා. ඔබ යුද්ධ හමුදාවක් වශයෙන් පුහුණුවීම් කටයුතු වගේ ම සේවාවන්, අද ලෝකයේ ම හමුදාවන් යුද්ධ කටයුතු කරන්නට පමණක් නොවෙයි ජාතිය ගොඩනැඟීමේ කටයුතුවල සෑම හමුදාවක් යෙදී තිබෙනවා. ඔබ ඒ වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරනවා. එය ඉදිරියටත් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන් ම ඔබලා කෘෂිකර්මාන්තය වෙනුවෙන් නව රෙජිමේන්තුවක් ඇති කරලා තිබෙනවා. මේ කටයුතු කිරීම ගැන ස්තුතිවන්ත වන අතර, ඔබට සුබ අනාගතයක් වේවා යි! කියා මම සුබ පතනවා.”

Hits: 1

You might also like
Comments
Loading...