සපුගස්කන්දේ කාන්තා මළ සිරුර: සැකකරුවන් දෙදෙනෙකු අල්ලයි

0 54

සපුගස්කන්ද ප්‍රදේශයේ ගමන් මල්ලක් තුළ දමා ගොස් තිබී හමු වූ කාන්තාවගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මට්ටක්කුලිය, සමිට්පුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක කාන්තාවක සහ වයස අවුරුදු 36ක ඇගේ ස්වාමිපුරුෂයා බවට හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසන්නේ.

සැකකරුවන් කැලණිය අපරාධ කොට්ඨාස විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් මළ සිරුර ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගත් බව කියන ලොරි රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

ඒ අනුව මෙම ඝාතනයට සම්බන්ධ අනෙක් සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක අතර අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

එම කාන්තාව තවත් කාන්තාවක සහ පුද්ගලයෙකු සමග ගොස් උකස් කර තිබූ රන් ආභරණ බේරාගෙන පැමිණ ඇති අතර පසුව ඇය එම කාන්තාව සමග ත්‍රිරෝද රථයකින් නැවත පිටවත්ව ගොස් සිටියදී අතුරුදන් වූ බවට තොරතුරු වාර්තා වන බවයි පොලිසිය පවසන්නේ.

නොවැම්බර් 28 වන දා සිට ඇය අතුරුදන්ව සිටි බවට ඇගේ සැමියා පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඇය සමග ත්‍රිරෝද රථයෙන් ගොස් ඇත්තේ, සමිට් පුර පදිංචි කාන්තාවක සහ ඇගේ සොහොයුරෙකු සමග බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද පොලිසිය පවසනවා.

ඔවුන් දෙදෙනා අතුරුදන්ව සිටි අතර ඔවුන් සොයා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා.

ඝාතනයට ලක්වූ කාන්තාව මුදල් පොළියටදීම ජීවිකාව කර ගත් අයෙකු බවටත් දැඩි ලෙස සූදුවට ඇබ්බැහි වූ තැනැත්තියක බවටත් වාර්තා වනවා.

සපුගස්කන්ද, මාබිම, වී මෝල පාරේ කසළ ගොඩක දැඩි දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශවාසීන් පොලිසියට කළ දැනුම්දීමක් මත අදාළ මළ සිරුර පසුගිය 5 වන දා සොයා ගනු ලැබුවා.

අඩියක් ගැඹුරු, අඩි දෙක හමාරක් දිග, අඩි දෙක හමාරක් පළල ගමන් මල්ලක අදාළ මළ සිරුර බහා තිබුණු බවයි පොලිසිය පවසන්නේ.

අදාළ කාන්තා මළ සිරුරේ අතපය ගැට ගසා තිබුණු බවත්, ඇය කළු හා රතු පැහැති කොටු ගවුමක් ඇඳ සිටි බවත් පොලිසිය වැඩිදුරටත් පවසනවා.

You might also like
Comments
Loading...