පකිස්තානු කණ්ඩායම අපරාජිතව අවසන් පූර්ව වටයට

0 44

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 46 වන තරගය හෙවත් සුපිරි 12 වටයේ අවසන් තරගය අද පැවැත්වෙනවා.

ඒ දෙවන කාණ්ඩය යටතේ තරග කරන ඉන්දීය කණ්ඩායම සහ නැමිබියාව අතරයි.

තරගය මෙරට වෙලාවෙන් පස්වරු 7.30ට ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට නියමිතයි.

දෙවන කාණ්ඩය යටතේ ඉන්දීය කණ්ඩායම මේ වන විට තරග 4කට සහභාගි වී ඉන් දෙකක් ජයගෙන දෙකක් පරාජයට පත්වී එම කාණ්ඩයේ තෙවන ස්ථානයේ පසුවන අතර තරග හතරකට සහභාගි වී එක් තරගයක් පමණක් ජයගෙන ප්‍රසාද ලකුණු දෙකක් පමණක් ලබාගනිමින් නැමිබියාව දෙවන කාණ්ඩයේ පස්වන ස්ථානයේ පසුවනවා.

මේ අතර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් ඊයේ(06) පැවැත්වුණා.

ඒ දෙවන කාණ්ඩය යටතේ තරග වදින ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තය අතරත් පකිස්ථානය සහ ස්කොට්ලන්තය අතරත්ය.

ඒ අනුව ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තය අතර තරගයෙන් කඩුලු අටක ජයක් ලබාගැනීමට නවසීලන්තය සමත් වූවා.

එහිදී කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරනු ලැබුවා.

එහිදී නියමිත පන්දුවාර විස්ස අවසානයේදී ඇෆ්ගනිස්ථානයට ලබාගත හැකි වූයේ කඩුලු අටක් දැවී ලකුණු 124ක් පමණි.

එහිදී නජිබුල්ලා සඩ්රන් පන්දු 48කදී ලකුණු 73ක් ලබාගැනීමට සමත් වූවා.

පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායමේ ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු තුනක්ද ටිම් සවුතී කඩුලු දෙකක්ද ඇඩම් මිල්නෙ, ජෙම්ස් නෂීම් සහ ඉෂ් සෝඩි එක් කඩුල්ල බැගිනුත් දවා ගැනීමට සමත් වූවා.

පිළිතුරු ඉනිම ආරම්භ කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 18.1කදී කඩුලු දෙකක් පමණක් දැවී ජයග්‍රාහ ඉලක්කය සපුරා ගැනීමට සමත් වූවා.

නවසීලන්ත කණ්ඩායමේ නොදැවී පන්දුවට පහර දුන් නායක කේන් විලියම්සන් සහ ඩේවොන් කොන්වේ පිළිවෙළින් ලකුණු 40ක් සහ 36ක් ලබාගැනීමට සමත් වූවා.

මේ අතර අනෙක් තරගය පැවැත්වුණේ පකිස්ථානය සහ ස්කොට්ලන්තය අතරයි.

ඉන් ලකුණු 72ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට පකිස්ථානු කණ්ඩායම සමත් වූවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් පකිස්ථාන් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු හතරක් දැවී ලකුණු 189ක් ලබාගැනීමට සමත් වූවා.

සොයිබ් මලික් නොදැවී ලකුණු 54ක් ලබාගත්තේ පන්දු 18කදීයි.

නායක බාබර් අසාම් පන්දු 47කදී ලකුණු 66ක් මොහොමමඩ් හෆීස් පන්දු 19කදී ලකුණු 31ක්ද ලබාගැනීමට සමත් වූවා.

පන්දු යැවීමේදී ස්කොට්ලන්ත කණ්ඩායමේ Chris Greaves කඩුලු දෙකක්ද හම්සා තහීර් සහ සෆ්යාන් සරීෆ් එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් වූවා.

ලකුණු 190ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ස්කොට්ලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු හයක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 117ක් පමණි.

නොදැවී පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත කණ්ඩායමේ රිචී බෙර්රින්ටොන් ලකුණු 54ක් ලබාගැනීමට සමත් වූ අතර සෙසු කිසිදු ක්‍රීඩකයකු ලකුණු 20 සීමාව පසු කිරීමට සමත් වූයේ නැහැ.

පන්දු යැවීමේදී පකිස්ථානු කණ්ඩායමේ ෂඩාබ් ඛාන් කඩුලු දෙකක්ද හසන් අලී, ඉමාඩ් වසීම් සහ ශෂීන් ෂාහ් අෆ්රිඩි එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් වූවා.

ඒ අනුව පකිස්ථානු කණ්ඩායම අපරාජිතය අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්තා.

ඒ අනුව පළමු කාණ්ඩයෙන් එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අවසන් පූර්ව වටය සඳහා එක්වන අතර දෙවන කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා සිටින්නේ පකිස්ථානය සහ නවසීලන්තයයි.

 

 

You might also like
Comments
Loading...