වැස්සත් එක්ක මාවුස්සාකැලේ සහ කාසල්රී ජලාශවලට පැමිණි දේවල්

ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක - මස්කෙළිය

0 24

ජාතික ජල විදුලිබල පද්ධතියට අයත්, මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ අධික වර්ෂාවත් සමග දිරා නොයන ඝණ අපද්‍රව්‍යවලින් පිරී ගොස් තිබෙන නිසා එහි මත්ෂ්‍ය සම්පතට හා පරිසරයට දැඩි හානියක් සිදුව ඇති බව  පරිසර හිතකාමී ජනතාව පවසති.

මාවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ, කැළණි ගඟේ අතු ගංඟාවක් වන මස්කෙළිය ඔයෙනි. කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ කැළණි ගඟේ තවත් අතු ගංඟාවක් වන කෙසෙල්ගමු ඔයෙනි.

මස්කෙළිය ඔය දෙපස හා සාමිමලේ නගරයේ  ඇතැම් පදිංචිකරුවන් මස්කෙළිය ඔයටත්, නල්ලතන්නිය ප්‍රදේශයේ ඇතැම් පදංචිකරුවන් විසින් සීතගඟුල ඔයටත්,  දිරා නොයන ඝණ අපද්‍රව්‍ය  අක්‍රමවත් ලෙස බැහැර කිරීම හේතුවෙන් ජලය සමග ගලා විත් එම අපද්‍රව්‍ය මාවුස්සාකැලේ ජලාශයේ ජලය මත පාවෙමින් ඇති අයුරු මේ වන විට දැකගත හැකිය.

කෙසෙල්ගමු ඔය   දෙපස පදිංචිකරුවන් හා නොර්වුඩ්, ටින්සින් යන නගරවල ඇතැම් ව්‍යාපාරික පිරිස් විසින් දිරා නොයන ඝණ අපද්‍රව්‍ය කෙසෙල්ගමු ඔයට බැහැර කිරීම නිසා කාසල්රී ජලාශයද මේ වන විට ප්ලාස්ටින් බෝතල් ඇතුළු  ඝණ අපද්‍රව්‍ය වලින් පිරී ගොස් තිබේ.

මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ මිරිදිය මාළු කර්මාන්තය තම දෛනික ජීවනෝපාය කරගත් විශාල පිරිසක් සිටිති. මෙම මිරිදිය ගොවීන් පවසන්නේ ජලාශයේ  පිරී පවතින ටොන් ගණනක දිරා නොයන ඝණ අපද්‍රව්‍ය නිසා එහි අහිතකර  තත්වය මත්ෂ්‍යන් ඇතුළු ජලජ ජීවින්ට හා පරිසරිකව දැඩි ලෙස බලපා ඇති බවය. දිරා නොයන  ඝණ අපද්‍රව්‍ය මාළු දැල්වල දැවටී දැල් විනාශ වීමෙන් තමන් දැඩි ආර්ථික ගැටළු වලට මුහුණ දී සිටින බවත් එම මිරිදිය ගොවීහූ පවසති.

මස්කෙළිය, සාමිමලේ හා නල්ලතන්නිය යන නගරවල දිනපතා ගොඩ ගැසෙන කැළි කසල මස්කෙළිය ප්‍රාදේශිය සභාව මගින් හා නෝර්වුඩ් නගරයේ කැළි කසල නෝර්වූඩ් ප්‍රාදේශිය සභාව මගින් ට්‍රැක්ටර් රථ යොදවා  ක්‍රමවත්ව බැහැර කිරීම සඳහා එක්රැස් කළද ඇතැම් ව්‍යාපාරිකයින් හා ගංඟා දෙපස පදිංචිකරුවන්  පරිසර හිතකාමී නොවන අයුරින් හිස් ප්ලාස්ටික් බෝතල් හා දිරා නොයන ඝණ අපද්‍රව්‍ය  වර්ෂාධික කාලවලදී පරිසරයට බැහැර කිරීම හේතුවෙන් ජාතික සම්පත් වන ජලවිදුලිබලාගාර ජලාශවල මෙසේ ඝණ අපද්‍රව්‍ය  ගොඩ ගැසී ඇති බව ප්‍රදේශයේ පරිසර හිතකාමී ජනතාව පවසති. 

Hits: 2

You might also like
Comments
Loading...