කළු ඇඳුමින් සැරසී පාසලක වැඩසටහනක් කරන්න ගිය උපදේශකවරයෙක් අත්අඩංගුවට
වායු රයිෆලයක් එම උණ්ඩ126ක් සහ ගමන්කථන තුනක් පොලිස් භාරයට
හාලිඇල ප්‍රදේශයේ පාසලක මනෝවිද්‍යාත්මක වැඩසටහනක් පැවැත්වීමට පැමිණි බව කියන උපදේශකවරයෙකු ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(01) දින හාලිඇල පොලිස් වසමේ විද්‍යාලයක දරු දැරියන්ට මනෝවිද්‍යාත්මක වැඩසටහනක් පවත්වන බවත් ඒ සඳහා පැමිණි උපදේශකවරයා කළු පැහැති ඇඳුමින් සැරසුණු පුද්ගලික ආරක්ෂකයන් පිරිසක් සමග පැමිණ ඇති බවත් ඔවුන් ගමන් කථන සහ ගිනි අවියක් තබාගෙන සිටින බවටත් හාලිඇල පොලිසිය වෙත තොරතුරක් ලැබී ඇති බවයි.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය අදාළ පාසලට ගොස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
එහිදී අනාවරණ වී ඇත්තේ අදාළ වැඩසටහන කිරීම සඳහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අනුමැතියක් ලබාගෙන නොමැති බවයි.
එසේම වැඩසටහන මෙහෙයවන ලද උපදේශකවරයා කිසිදු ලියාපදිංචි ආයතනයක හෝ එලෙස වැඩසටහන් පැවැත්වීම සඳහා සුදුසුකම් ලද්දෙකුද නොවන බවට අනාවරණ වූ බවයි පොලිසිය පවසන්නේ.
අදාළ උපදේශකවරයා සමග පැමිණි ආරක්ෂකයින් තිදෙනා සන්තකයේ තිබී ගමන්කථන තුනක් සහ වායු රයිෆලයක් මෙන්ම ඊට යොදන පතරොම් 129ක්ද පොලිසිය සොයාගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනා සහ අදාළ දේපළ පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.
පොලිසිය වැඩිදුරටත් පවසන්නේ අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23, 24, 30 සහ 36 යන වයස්වල පසුවන හලාවත, රත්මලාන සහ මීගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.
එසේම සැකකරුවන් අද(02) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හාලිඇළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
පාසල් ළමුන් පිළිබ‍්ඳ කටයුතු කිරීමේදී මෙවැනි නොදන්නා පුද්ගලයන් මෙන්ම පාසලට නොගැලපෙන ආකාරයේ පුද්ගලයන් පාසල් තුළට කැඳවා ගැනීමෙන් වළකින ලෙස මීට අදාළ නිලධාරීන්ගෙන් පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
Hits: 2