මීගමුව කළබලයකින් 4ක් රෝහලට

0 9

මීගමුව මහහුනුපිටිය ප්‍රදේශයට අද 10 සවස කඩා වැදුනු මැර කල්ලියක් ප්‍රදේශවාසීන්ට තියුණු අවිවලින් ප්‍රහාර එල්ල කර විවිධ වාහන පහළොවකට පමණ ගිනි තබා විනාශ කර ඇතැයි කටාන පොලිසිය කියයි.

සිද්ධියෙන් තුවාලලත් පුද්ගලයන් සිව් දෙනෙකු මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ද වෑන් රථ එකක් ත්‍රීරෝද රථ තුනක් යතුරු පැදි අටක් හා පාපැදී පහක් ගිනි තබා විනාශ කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

මෙම ප්‍රදේශයේ පිහිටි මහා පරිමාණ හෝටලයකට ඊයේ (9) ගිනි තබා විනාශ කර තිබූ අතර අද (10) දහවල් එහි කඩාවැදුණු කිසියම් පිරිසක් එම හෝටලයේ තවත් කොටසකට ගිනි තබා ඇතැයි ද ඒ අතර රැස් වූ පිරිස් හෝටලයේ දේපල කොල්ල කෑමේ යෙදී ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

මේ අතර ප්‍රදේශවාසීන් දෙපක්ෂය අතර කිසියම් හේතුවක් මත ගැටුමක් ඇතිවී ඇති බවත් ආගමික නායකයන් මැදිහත්ව එම පිරිස සන්සුන් කිරීමට පියවර ගෙන ඇති බවද පොලිසිය සඳහන් කළේය.

මහා පරිමාණ හෝටලය අයිතිකරු සිංහල පුද්ගලයෙක් වන අතර ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයින් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි ද ඔවුන්ගෙන් සිංහල ජාතිකයින්ට හිරිහැර වන බවට කිසියම් පිරිසක් පතුරුවා ඇති ආරංචියකින් පසු අද 10 පස්වරුවේ මෙසේ කිසියම් කණ්ඩායමක් එහි කඩා වැදී දේපළ හානි කර ගිනි තබා විනාශ කර ඇතැයි හෙළි වී ඇත.

මෙම කල්ලිය කඩාවදින අවස්ථාවේ මෙම ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් පිරිස හා ආගමික නායකයින් ඔවුන් මැඩ පැවැත්වීමට උත්සාහ ගෙන ඇතත් එම උත්සාහයන් ව්‍යාර්ථ වී ඇති බවද පොලිසිය සඳහන් කරයි.

මෙසේ කඩා වැදුණු මැර කණ්ඩායම හානි කර ඇත්තේ මුස්ලිම් ජාතිකයින්ට අයත් දේපළවලට බවද ඔවුන් ඒ වන විට වසා තිබූ වෙළෙඳ සැල් කීපයකටද තියුණු අවි වලින් පහර දී හානි කර ඇතැයි ද පොලිසිය ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත් ප්‍රදේශයේ ජාතිවාදී අරගල තත්ත්වයක් නොපැවති බවත් නාඳුනන පිරිසක් කඩා වැදී මෙම සිද්ධිය පාදක කරගෙන ජාතිවාදී ගැටුමක් ඇති කිරීමට ගත් උත්සාහයක් බවට ප්‍රදේශයේ සිංහල හා මුස්ලිම් ජනතාව මෙන්ම පොලිස් ආරංචි මාර්ග ආරංචි මාර්ග සඳහන් කළේය.

Source : Lankadeepa.lk

Hits: 1

You might also like
Comments
Loading...