ඊයේත් ආසාදිතයන් 688ක් – මරණ සංඛ්‍යාව 154 දක්වා ඉහළට

0 4

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 33,478ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ඊයේ (14) දිනයේදී හඳුනාගත් නව ආසාදිතයන් 688 දෙනාද සමගින්.

ඒ අනුව මේ වන විට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින ආසාදිතයන් සංඛ්‍යාව 9,015ක් වන අතර මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 24,309ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ ඊයේ දිනයේදී හඳුනාගත් ආසාදිතයන්ගෙන් 685 දෙනෙකු දේශීයව හඳුනාගෙන ඇති බවත් සෙසු තිදෙනා විදේශීය මුහුදු ආරක්ෂ නිලධාරීන් බවත්ය.

ඒ අනුව ඊයේ දිනයේ දේශීය හඳුනාගත් ආසාදිතයන් අතරින් වැඩිම ප්‍රමාණය වන ආසාදිතයන් 200 දෙනෙක් හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවද එම මධ්‍යස්ථානය පවසනවා.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 117 දෙනෙක්ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 113 දෙනෙක්ද හඳුනාගෙන තිබෙනවා.

සෙසු ආසාදිතයන් 225 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.

අද(15) උදෑසන 6 පමණ වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළෙඳ පොලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වන කොවිඩ් 19 වෛරස ආසාදිත සම්පූර්ණ සංඛ්‍යාව 29,833ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

එසේම ඉන් මේ වන විට ආසාදිතයන් 20,901 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් තිබෙනවා.

මේ අතර අද(15) උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුළදී රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධයස්ථාන තුළින් පුද්ගලයින් 516 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.

අද(15) දින උදෑසන වන විට මෙරටින් කොවිඩ් 19 ආසාදිතව පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්ව ඇති බවත් එම පුද්ගලයන් බණ්ඩාරගම සහ කොළඹ 14 ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් ලෙසින් වාර්තා වනවා.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සම්පූර්ණ මරණ සංඛ්‍යාව 154ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැකය මත පුද්ගලයන් 510 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

ඊයේ(14) දිනය තුළදී මෙරට සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 13,479ක් වන අතර මෙරට සිදු කරන ලද සමස්ත පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 1,027,045ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

You might also like
Comments
Loading...