පාසල් නිල ඇඳුම් ප්‍රමාදය ගැන ජනපති අවධානයට

0 5

පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබාදීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (11 වැනිදා) පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී කරුණු විමසා තිබෙනවා.

එහිදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් හා කර්මාන්ත ඇමැති විමල් වීරවංශ යන මහත්වරුන් කරුණු දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

දේශීය නිෂ්පාදකයන් මගින් නිල ඇඳුම් කඩිනමින් ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කිරීමටද එහිදී තීරණය වී තිබෙනවා.

මේ වනවිට දේශීය නිෂ්පාදකයන්ගෙන් නිල ඇඳුම් රෙදි මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවා ඇණවුම් ප්‍රදානය කර තිබෙනවා.

මෙම රෙදි දේශීය නිෂ්පාදනයන් බව තහවුරු කර ගැනීම හා නිල ඇඳුම් රෙදි නිෂ්පාදනයට අදාළ සැපයුම්කරුවන් වෙන්කර හඳුනා ගැනීම අරමුණු කර ගනිමින් එකිනෙකට වෙනස් වර්ණයන්ගෙන් යුත් නූලක් නිල ඇඳුම් රෙදිවල එක් කෙළවරක යොදන ලෙසටද අමාත්‍යාංශය නිෂ්පාදකයාට උපදෙස් ලබාදී තිබෙනවා.

ලබාදෙන රෙදි නිවැරදි ප්‍රමිතියෙන් යුක්ත බවට ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය මගින් පරීක්ෂාවට ලක්කළ යුතු වනවා.

එම ආයතනය පසුගිය වසරේ දෙසැම්බර් විසිතුන් වන දින අමාත්‍යාංශයට දැනුම්දී ඇත්තේ සැපයුම්කරුවන් තත්ත්ව පරීක්ෂාව සඳහා ලබාදී ඇති රෙදි ප්‍රමාණය මුළු නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවයෙන් සියයට හතළිස් නවයක් බවයි.

එමෙන්ම අනෙකුත් සියලු අවශ්‍යතාවන් සම්පූර්ණ කර තිබියදී හඳුන්වා දුන් නූල නොමැති නිසා ප්‍රතික්ෂේප වී ඇති රෙදි ප්‍රමාණය මුළු අවශ්‍යතාවයෙන් සියයට හතක් බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

You might also like
Comments
Loading...