ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 450 දක්වා ඉහළට – සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 80,000 ඉක්මවයි

0 5

කොවිඩ් 19 ආසාදිත තවත් මරණ පහක් ඊයේ(22) දිනයේදී වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අද්‍යක්ෂා ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව මෙරට කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 450ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ඒ අනුව ඊයේ(22) දිනයේ වාර්තා වූ මරණ පහ අතර කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් වනවා.

ඒ දූනගහ, නුගේගොඩ, කොළඹ 12, මිනුවන්ගොඩ සහ කොළඹ 13 යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

ඒ අතර වයස අවුරුදු 33ක් පමණ වූ කාන්තාවක්ද සිටින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

අදාළ කාන්තාව දූනගහ ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙබරවාරි මස 20 වන දින මියගොස් ඇති බවත් මරණයට හේතුව කොවිඩ් 19 ආසාදනයත් සමග උග්‍ර වූ දියවැඩියාව ස හ උග්‍ර වකුගඩු ආසාදනය බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ අතර ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් 19 ආසාදිත නව රෝගීන් 490 දෙනෙක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට කොවිඩ් 19 ආසාදිත සමස්ත සංඛ්‍යාව 80,517ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ඉන් මේ වන විට රෝහල්ගතව සිටින්නේ ආසාදිතයන් 4,957 දෙනෙක් වන අතර සුවය ලැබූවන්ගේ සමස්ත සංඛ්‍යාව 75,110ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැකය මත රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 617ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

 

You might also like
Comments
Loading...