යාපනයේදී වෛද්‍ය සිසුවියක් ඝාතනය කෙරේ

රොමේෂ් මධුෂංඛ - වන්නි

0 1,247

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබමින් සිටින වෛද්‍ය සිසුවියක් තියුණු ආයුධයකින් ඝාතනය කොට පලා යමින් සිටි සැකකරුවෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාර දී තිබෙනවා.

යාපනය පන්නෙයි කොටුව අසලදී අද (22) දහවල් මෙම ඝාතනය සිදුව ඇති බවයි යාපනය ආරක්ෂක අංශ පවසන්නේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ යාපනය සරසවියේ වෛද්‍ය පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ බේරුවල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සිසුවියකි.

අදාල සිසුවිය ප්‍රේම සම්බන්ධතාවයක් මත සැකකරු හමුවීමට යාපනය කොටුවට පැමිණ ඇති බවටත් එහිදී දෙදෙනා අතර වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සැකකරු අතෙහි වූ තියුණු ආයුධයකින් වෛද්‍ය සිසුවියගේ ගෙල හා අත කපා ඝාතනය කොට ඇති බවට සැකකරන බවයි පොලිසිය පවසන්නේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ ඝාතනය කෙරුණු තරුණිය මුහුදු රැල්ල මතට දමා පලා යාමට උත්සහ කිරීමේදී ඝාතකයා පසුපස ලුහුබැඳ ගොස් ප්‍රදේශවාසීන් විසින් අල්ලා සැකකරු පොලීසියට භාර දුන් බවයි.

අදාල ඝාතනය වෛද්‍ය සිසුවියගේ හා සැකකරු අතර වූ ප්‍රේම සම්බන්ධතාවය ආරවුලක් දක්වා දුර දිග යාමෙන් සිදුවී ඇති බවට පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය සැක පල කර සිටියි.

මේ අතර ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාරදුන් සැකකරු යුද හමුදා සෙබලෙකු බවටත් ඔහු පරන්තන් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන බවටද පොලීසියට අනාවරණය වී ඇති බවද වාර්තා වනවා.

සැකකරු අත්අඩංගුවට ගෙන යාපනය පොලීසිය වෙතට රැගෙන විත් ප්‍රශ්න කිරීම් සිදු කරන අතර අදාල ඝාතනය සම්බන්ධයෙන් යාපනය පොලීසිය පුලුල් පරික්ෂණයක් අරඹා තිබෙනවා.

You might also like
Comments
Loading...