කොවැක්ස් පහසුකම යටතේ පළමු එන්නත් තොගය ලබන 28 වැනි දාට පෙර

0 1

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) ලබා දෙන කොවැක්ස් පහසුකම යටතේ මෙරටට ලැබෙන පළමු එන්නත් මාත්‍රා තොගය ලබන 28 වැනි දාට පෙර ලැබෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

පළමු තොගය ලෙස මාත්‍රා 264,000 ක් ලැබීමට නියමිත බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා කියා සිටියේ.

කොවැක්ස් පහසුකම යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට ලැබීමට නියමිත මුළු එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 4.5ක් වනවා.

දැනට ලැබී ඇති තොරතුරු අනුව බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරටට ලැබෙනු ඇතැයි වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් පවසනවා.

කොවැක්ස් පහසුකම යටතේ පළමු එන්නත් තොගය ඉකුත් 24 වැනි දා ඝානා රාජ්‍යයට ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කරනු ලැබුවා.

මේ අතර ඉන්දියාවෙන් ඊයේ(25) දිනයේදී මෙරටට ගෙන්වනු ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5 අද සිට එන්නත්කරණ ක්‍රියාවලියට යොදවන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල අවදානම් කණ්ඩායම් සඳහා මේ දිනවල එන්නත ලබාදීම සිදුවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඊයේ (25) දිනයේදී මෙරටට ගෙන්වන ලද කොවිඩ් එන්නත් ලක්ෂ පහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉන්දියාවේ සීරම් ආයතනයෙන් මිලදී ගත් ඒවා වනවා. 

එම කොවිඩ් එන්නත් ලක්ෂ පහ කොවිඩ් රෝගීන් වැඩිවශයෙන් වාර්තා වන දිස්ත්‍රික්කවලට බෙදාහැරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. 

ඒ අනුව කළුතර, මහනුවර, කුරුණෑගල සහ ගාල්ල යන දිස්ත්‍රික්ක ඇතුළත්ව තවත් දිස්ත්‍රික්ක කිහිපයක වයස අවුරුදු 30 ඉක්මවූවන්ට එම එන්නත් ලබාදීමට නියමිතයි. 

රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියා සිටියේ මේ සඳහා ක්‍රමවත් යාන්ත්‍රණයක් සකසා ඇති බවයි. 

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එන්නත් ලක්ෂ දහයක් ආනයනය කරන අතර එහි පළමු තොගයයි ඊයේ (25) ශ්‍රී ලංකාවට ලැබුණේ. 

එන්නත් ගෙන්වීම සඳහා අමාත්‍ය මණ්ඩලය පසුගිය සඳුදා අනුමැතිය ලබාදුන් අතර ඊට වැය වන මුදල රුපියල් මිලියන 10,500ක් බවටයි වාර්තා වන්නේ.

මෙම එන්නත්කරණයේදී වෙබ් අඩවි ඔස්සේ ලියාපදිංචි කිරීමක් නොකරන අතර ඡන්ද හිමි නාමලේඛනයේ නම් තිබෙන පුද්ගලයන්ට එන්නත ලබාදීමට නියමිත බවද රාජ්‍ය ඇමැතිවරිය වැඩිදුරටත් කියා සිටියා.

එන්නත් ලබාගැනීමට පැමිණෙන ජනතාව මුව ආවරණ පැලැඳ, මීටරයේ දුරෙන් සිටිය යුතු බවද ඇය සඳහන් කළාය.

ග්‍රාමනිලධාරීන් සහ පොලිසියේද සහයෝගය මේ සඳහා ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. 

 

You might also like
Comments
Loading...