උතුරේ දෙමළ දේශපාලනඥයින් ඉන්දීය මහ කොමසාරිස් සමඟ සාකච්ජා

0 3

උතුරු පළාතේ සංචාරයකට එක්ව සිටින මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බක්ලේ හා උතුරු පළාතේ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර සාකච්ජාවක් ඊයේ(13) යාපනය පිහිටි පෞද්ගලික හෝටලයකදී පවත්වා තිබෙනවා.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා දෙමළ ජාතික ජනතා සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ තනි තනිව සාකච්ජා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ප්ලොට් පක්ෂ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන්, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් සහ දෙමළ ජාතික සන්ධාන ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් පිරිසක් එක්ව දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ සාකච්ජා පවත්වා තිබෙනවා.

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය නියෝජනය කරමින් පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් යන මහත්වරුන් ඇතුළු පක්ෂ නියෝජිතයින් පිරිසක්ද, දෙමළ ජාතික ජනතා සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සි.වි.විග්නේශ්වරන් මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින් පිරිසක් වෙන වෙනම ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ එහිදි සාකච්ජා පැවැත්වා තිබෙනවා.

දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් තනි තනිව ඉන්දීය මහ කොමසාරිවරයා සමඟ සාකච්ජා පැවැත්වීම විශේෂත්වයක්  බවයි උතුරේ ජනතාව පවසන්නේ.

උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාවගේ ගැටළුවලට විසදුම් ලබාගැනීම, ජිනිවා මානව හිමිකම් කවුන්සලයේ යෝජනාවලිය, උතුරු මුහුදේ පවතින දූපත් සම්බන්ධ ගැටළු, ඉන්දු ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන් එහිදි සාකච්ජා පැවැත්වු බව සාකච්ජාවන්ට එක්වු දෙමළ පක්ෂ නියෝජිතයින් පැවසූහ.

සාකච්ජාවන් වෙනුවෙන් යාපනය පිහිටි ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාල නිළධාරීන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.

You might also like
Comments
Loading...