මාතලේ එළවළු වගාවට අවශ්‍ය “ඉනි” හිඟවීමෙන් ගැටලු රැසක්

0 2

මාතලේ දිස්ත්‍රික්කයේ එළවළු වගා සඳහා යොදා ගන්නා ආධාරක කෝටුවල මිල ඉහළ යාම සහ හිඟවීම හේතුවෙන් ප්‍රදේශ රැසක ගොවීන් දැඩි අපහසුතාවන්ට පවත්ව ඇතැයි ගොවි සංවිධාන රැසක් පවසනවා.

වැටකොළු, මෑ කරල්, බෝංචි, කරවිල, දඹල, පතෝල වැනි එළවළු විශේෂ වගා කිරිමේ දී ආධාරක ඉනි භාවිතය ගොවින් විසින් සිදුකරනු ලබනවා.

වගා භූමී රැසක වාර්ෂිකව මාතලේ දිස්ත්‍රික්කයේ සිදුකරනු ලබන ඉහත කී එළවලු වගාවන් හේතුවෙන් දිස්ත්‍රික්කයේ ආධාරක ඉනිවල හිඟයක් මතුව ඇති බවයි ගොවීන් පවසන්නේ.

ඇතැම් ප්‍රදේශවල ආධාරක සඳහා භාවිතයට ගැනෙන ඇල්බීසියා හෙවත් ග්ඩිසිරියා අත්තක මිල රුපියල් 10 සිට 20 දක්වා මිලකට අලෙවි කරනු ලබනවා.

මාතලේ දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන රැසක් කියා සිටියේ එම මිලගණන් යටතේ සිය වගා බිම්වලට ඉනි සපයා ගැනීමේදී තවත් අමතර මුදලක් වැයවන බවයි.

කෙසේ වෙතත් එම මිලගණන් යටතේ ද ආධාරක ඉනි බහුල වශයෙන් යොදාගන්නා අක්කර 500 ක වගා වපසරියකින් හෙබි නාඋල – අඹන වෙල්යායේ ගොවීන් කියා සිටියේ තමන් ආධාරක ඉනි හිටවීම හේතුවෙන් ගැටළු රැසකට මුහුණ දී සිටින බවයි.

මේ අතර ආධාරක ඉනිවල පවතින හිඟතාවය මග හැරීම සඳහා මාතලේ – සැලගම ප්‍රදේශයේ වගාවන් සදහා කුරුදු කෝටු ආධාරක ලෙස භාවිතයට ගොවින් හුරුවී සිටින බව කියා සිටියා.

කෙසේ වෙතත් ඔවුන් ද කියා සිටියේ එය වගා අවශ්‍යතා සදහා ප්‍රමාණවත් විසදුමක් නොවන බවයි.

මාතලේ දිස්ත්‍රික්කයේ පවතින වගා සඳහා යොදා ගන්නා ආධාරක ඉනි පිළිබද ගැටළුවට පිළියම් ලෙස ඇතැම් පිරිසක් ඇල්බිසියා ශාක වගා කිරිම අරඹා ඇති අතර ඔවුන් කියාසිටියේ වාර්ෂිකව සිය වගාවලින් කපා ඉවත් කරන ඇල්බීසියා ශාක අතු අලෙවි කර හොද ආදායමකත් ලබන බවයි.

You might also like
Comments
Loading...