PCR රසායනාගාර දිස්ත්‍රික් මට්ටමින් වැඩි කිරීම කෙරෙහි අවධානය

0 0

දිස්ත්‍රික් මට්ටමින් පී.සී.ආර්. රසායනාගාර වැඩි කිරීම සහ ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් කොවිඩ් මර්දන අරමුදල මගින් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නආරච්චි මහත්මිය පවසනවා.

අමාත්‍යවරිය මේ බව කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අද(10) පැවැති කොවිඩ් 19 ක්‍රියාකාරී කාර්ය සාධන විශේෂ කමිටු රැස්වීමේදීයි.

කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලට ප්‍රමුඛත්වය ලබාදෙමින් දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලද කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනමින් ශක්තිමත් කිරීම සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශවල දැනට ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථාන ප්‍රමාණය දෙගුණයක් දක්වා වැඩි කිරීම යන කරුණු මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

එසේම දිස්ත්‍රික් මට්ටමින් රසායනාගාර වැඩි කිරීම හරහා පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය තවදුරටත් වැඩි කිරීම සහ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීම මෙන්ම පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය වන පුද්ගලයන් නිවෙස්වලින් බැහැරට යාම වැළැක්වීම සඳහා වැඩපිළිවෙළක් සැකසීමද මෙහිදී කතාබහට ලක්ව තිබෙනවා.

Read Also This News : ශ්‍රී ලංකාවේ පළමුවරට දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 2650 ඉක්මවයි

එහිදී සාකච්ඡා කෙරුණු තවත් කාරණයක් වන්නේ මේ වන විට සැකසෙමින් පවතින ප්‍රතිකාර මධ්‍යස්ථානවලට අවශ්‍ය ඔක්සිජන් ඇතුළු අනෙකුත් පහසුකම් කඩිනමින් ලබාදීම සහ අනෙකුත් වෛද්‍ය උපකරණ ඉතාමත් කඩිනමින් මිලදී ගෙන අදාළ මධ්‍යස්ථාන වෙත ලබාදීම සම්බන්ධයෙනි.

මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහ මහාචාර්ය චන්න ජයසුමන මහතාද එක්ව තිබෙනවා.

එසේම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු නිලදාරීන් පිරිසක්ද එක්ව සිට තිබෙනවා.

 

You might also like
Comments
Loading...