දිස්ත්‍රික්ක 10ක ප්‍රදේශ 70ක් හුදකලා කෙරේ

0 3

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට අයත් ප්‍රදේශ 70ක් අද (17) අලුයම සිට හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

එසේම මෙතෙක් හුදකලා කර තිබූ තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කිරීමට ද තීරණය කර ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ අතර මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ සංචරණ සීමා අද (17) අලුයම 04.00 ට ඉවත් කෙරුණා.

පසුගිය 13 වන බ්‍රහස්පතින්දා රාත්‍රී 11.00 සිට පැනවූ සංචරණ සීමා මෙලෙස අද අලුයම 04.00 ට ඉවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.

කෙසේ වෙතත් අද දිනයේ සිට දෛනිකව රාත්‍රී 11.00 සිට පසුදින 04.00 දක්වා සංචරණ සීමා බලපැවැත්වෙනවා.

එමෙන්ම පළාත් අතර සංචරණ සීමා ද තවදුරටත් ක්‍රියාත්මක අතර මෙම සීමාවන් මැයි මස 31 වන දින දක්වා බලපැවැත්වෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

සංචරණ සීමා ඉවත් වුවද රාජකාරී සඳහා පිටත්ව යන පුද්ගලයින්ට හැර සෙසු පුද්ගලයින්ට අද දිනයේ සිට නිවෙස්වලින් පිටව යා හැක්කේ ජාතික හැදුනුම්පතේ අවසාන අංකය පදනම් කරගෙන බවද ඔහු කියා සිටියා.

ඒ නිවස ආසන්නයේම පිහිටි පාරිභෝගික ස්ථානයක් වෙත අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණි.

කෙසේ වෙතත් සංචරණ සීමා ඉවත් කළ ද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීම වඩාත් වැදගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ජනතාවට දැනුම්දෙනවා.

මේ අතර නිරෝධායනය රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 262ක් සමග වාහන 15ක් ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.

එලෙස පොලිස් භාරයට ගැනුණු වාහන අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අද දිනයේ හුදකලා කළ ප්‍රදේශ සහ හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ පිළිබඳ සම්පූර්ණ තොරතුරු පහතින් දැක්වේ.

You might also like
Comments
Loading...