රඹෑව ප්‍රාදේශීය සභා සභාපතිගේ අධිකරණ සේවකයෙකුට ප්‍රහාරයක්

0 1

මිහින්තලේ සීප්පුකුලමේ පවත්වාගෙන යන තම සිල්ලර වෙළෙඳ සැලට ඊයේ(17) රාත්‍රී 7.50ට පමණ තවත් පුද්ගලයින් දෙදෙනෙකුද සමගින් පැමිණි රඹෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තමාට සහ තම ගර්භණී බිරිඳට පහර දුන් බව පවසමින් අනුරාධපුර සිවිල් අභියාචනා මහාධිකරණයේ කාර්ය මණ්ඩල සේවකයෙකු සහ ඔහුගේ බිරිඳ රෝහල්ගතව තිබෙනවා.

පොලිසිය කියා සිටියේ මේ සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසියටද පැමිණිල්ලක් අදාළ සේවකයා විසින් සිදු කර ඇති බවයි.

ඊයේ රාත්‍රී 9.30 ට පමණ  ඔහු කළ පැමිණිල්ලෙන් පසු මිහින්තලේ පොලිසියට පැමිණ තිබුණු රඹෑව ප්‍රාදේශීය සභාවේ සභාපති  ප්‍රසන්න තෙන්නකෝන් මහතාද පැමිණිල්ලක් කර තිබෙන අතර, ප්‍රසාද් ප්‍රියංකර ගුණවර්ධන නමැති එම අධිකරණ සේවකයා විසින් තමන්ට පහරදී තමන් ගමන්කළ තම මිතුරාගේ ජීප් රථයටද අලාභ හානි සිදුකළ බව එහි සඳහන්කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්පොලිසියට කළ පැමිණිල්ලෙන් පසු ඊයේ රාත්‍රියේම  මිහින්තලේ රෝහලට ඇතුළත්වූ අධිකරණ සේවකයා හා ඔහුගේ  ගැබිණි බිරිඳ පරීක්ෂාකළ වෛද්‍යවරයා , වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන්  අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යැවීමට කටයුතු කෙරුණා.

මිහින්තලේ පොලිසිය සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හා ඔහුගේ මිතුරා අධිකරණ සේවකයා විසින් පවත්වාගෙන යන සිල්ලර වෙළඳ සැලට යාබද කොත්තු හෝටලයකට පැමිණි අවස්ථාවේ , අධිකරණ සේවකයාගේ සිල්ලර වෙළද සැලටද පැමිණ බඩු බාහිරාදිය මිලදීගෙන තිබෙන බවයි.

රුපියල් 13 ක  ඉතුරු සල්ලි වෙනුවට අධිකරණ සේවකයා ටොෆි තුනක් දුන් අවස්ථාවේ සභාපතිවරයා ඒගැන කළ ප්‍රකාශයක් දුරදිග යාමෙන් ගැටුම ඇතිවී තිබෙන බවද මුලික පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

මේඅතර, මේ ගැන පරීක්ෂණ සිදුකරණ මිහින්තලේ පොලිසියේ නිලධාරියෙක් සඳහන් කළේ , රඹෑව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න තෙන්නකෝන් මහතාද ප්‍රතිකාර සඳහා රඹෑව රෝහලට ඇතුලත් ව සිටින බවට දැනගන්නට ඇති බවයි.

[අතුල බණ්ඩාර – අනුරාධපුරය]

You might also like
Comments
Loading...