නෞකාවේ කපිතාන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට CIDය සුදානම්

0 10

මෙරට මුහුදු සීමාවේ දි ගිනි ගැනීමට ලක්වු “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්වරයාගෙන් සහ ඉංජිනේරුවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (31) ප්‍රකාශයක් සටහන් කරගැනීමට නියමිතව තිබේ.

ඒ අනුව වැල්ලවත්ත ප්‍රදේශයේ ඔවුන් නිරෝධායනයට ලක්කර සිටින හෝටලයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ගොස් අදාළ ප්‍රකාශය සටහන් කර ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඊයේ (30) පස්වරුවේ එම ප්‍රකාශය ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කපිතාන්වරයා නිරෝධායනයට ලක්කර සිටි ස්ථානයට ගොස් තිබුණද නෞකාවට අදාළ ලිපිගොනු කපිතාන්වරයා සතුව නොමැති වීම හේතුවෙන් අද දින එම ප්‍රකාශය ලබා ගැනීමට තීරණය කරනු ලැබීය.

මේ අතර “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ ඇතිවූ ගින්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිලි පිළිබඳව විමර්ශනය කිරීම සඳහා 10දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ විවිධ ද්‍රව්‍ය මුහුදට එක්වීමෙන් ධීවර ආම්පන්න සඳහා සිදුවු හානිය සම්පුර්ණයෙන් පියවීමට ධීවර අමාත්‍යංශය පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ධීවරයන්ට සිදුව ඇති හානී තක්සේරු කිරීමෙන් පසු නෞකාවෙන් ලැබෙන වන්දි මත පදනම් නොවී අදාළ ගෙවීම් කඩිනමින් සිදුකිරීමට ධීවර අමාත්‍යංශය තීරණය කර ඇති බවය.

මේ අතර නෞකාව ගිනි ගැනිමත් සමග ඉන් මුහුදට එක්වු අපද්‍රව්‍ය කොටස් මේවන විට ගාල්ල, මාතර වෙරළ ප්‍රදේශ වෙත ගසා විත් තිබේ.

Source : Ada Derana

You might also like
Comments
Loading...