ජනජීවිතය අඩාල නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට කටයුතු කරන්න

ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික ලේකම්වරුන්ට ජනපතිගෙන් උපදෙස්

0 10

ජනජීවිතය අඩාලවීමට ඉඩනොතැබිය යුතු බවත් කර්මාන්ත සහ සංවර්ධන ක්‍රියාවලිය අඛණ්ඩාව පවත්වාගෙන යාමට සහය වන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට පවසා තිබෙනවා.

එසේම ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ජනජීවිතය අඩාල නොවන අයුරින් සේවා පවත්වාගෙන යාමට ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු පෞද්ගලිකවම මැදිහත් විය යුතු බවයි.

පවතින තත්ත්වය හමුවේ වුවද රටේ ආර්ථිකය බිඳ වැටීමට ඉඩ තැබිය නොහැකි බවත් අභියෝගය ජය ගනිමින් රටක් ලෙස ඉදිරියට යාමේ දී සියලුදෙනාගේ දායකත්වය අවශ්‍ය බවත් පැවසූ ජනාධිපතිතුමා කර්මාන්තශාලා සහ සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන ලෙස ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට කියා සිටියා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ පළාත් ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් සමග ඊයේ(02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති මාසික හමුවේදියි.

කර්මාන්තශාලාවක් හෝ සංවර්ධන ව්‍යාපෘතියක් ආශ්‍රිතව ආසාධිතයෙකු හඳුනාගත් විට එම කර්මාන්තශාලාව හෝ ව්‍යාපෘතිය එක්වරම වසා දමනු වෙනුවට සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් අඛණ්ඩව පවත්වාගෙන යා හැකි පරිසරය විමසීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

සංචරණ සීමා හමුවේ ජන ජීවිතයට එල්ල වී ඇති අභියෝග සහ ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
නිසි සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් කර්මාන්ත සහ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට රජය උපදෙස් දී තිබුණ ද ප්‍රාදේශීයව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මකවීමේ දී අඩුපාඩු පැවති බවට කරුණු වාර්තා වී ඇති බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.

ප්‍රාදේශීය මට්ටමින් ගොවීන්ගේ එළවළු සහ පළතුරු අතිරික්ත මිලට ගෙන බෙදාහැරීමේ යාන්ත්‍රණය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට උපදෙස් දුන් ජනාධිපතිවරයා ගොවි ආර්ථිකය බිඳ වැටීමට ඉඩ නොතැබීම අදාළ සියලු පාර්ශ්වයන්ගේ වගකීම බවද පෙන්වා දුන්නා.

දේශීය අරමුදල් සහ විදේශීය ණය ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති අදාළ ඉලක්ක නිසි ලෙස පූර්ණය කළ යුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේ.

රජය විසින් ක්‍රියාත්මක කොට ඇති වැව් දස දහසේ වැඩසටහන, මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීම, ජාතික පාසල් දහස, නිවාස, ප්‍රාදේශීය රෝහල්, පානීය ජලය, පුනර්ජනනීය බලශක්තිය වැනි ව්‍යපෘති අඛණ්ඩව පවත්වාගෙන යාමට රාජ්‍ය අමාත්‍යවරුන් සහ එම ලේකම්වරු සමග සෘජු සබඳතා පවත්වා ගනිමින් කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරුන්ට සහ දිසාපතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

You might also like
Comments
Loading...