මධ්‍යම අධිවේගය නිසා ගංවතුරට යටවෙන්නේ යැයි එල්ල වන චෝදනාවට රාජ්‍ය ඇමතිගෙන් පිළිතුරු

0 23

මධ්‍යම අධිවේගී මාර්ගය නිසා සමහර ප්‍රදේශ ගංවතුරට යටවෙන්නේ යැයි එල්ලවන චෝදනාව යොමු විය යුතතේ එම සංවර්ධන ව්‍යපෘති සිදුකරගෙන යාමේදී ඊට බාධා එල්ල කරන අයට සහ මධ්‍යම අධිවේගයේ සැලසුම් වෙනස් කළ යහපාලන රජයට බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසනවා.

සෞභාග්‍යයේ මංපෙත් විප්ලවය වැඩසටහන යටතේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ(07) එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙලෙස කියා සිටියා.

මධ්‍යම අධිවේගී මාර්ගය නිසා සමහර පැති යටවෙනවා කියලා කියනවා. මේ වෙනකොට අධිවේගී මාර්ග පද්ධති හදපු කොහෙවත් යටවෙලා නැහැ. හැබැයි සමහර වැඩ පටන් ගත්තාම ඒවා කරගන්න බැරිවෙන්න ප්‍රායෝගිකව විවිධ බාධක දැම්මා. මධ්‍යම අධිවේගයේ ගම්පහ ප්‍රදේශයේ කෘඩියා සිලනිකා ගහේ ප්‍රශ්නය නොදැම්මනම් මේ වෙනකොට එම ප්‍රදේශයේ ඇල මාර්ග හාරලා, ඇල මාර්ග සංවර්ධනය කරලා අධිවේගී මාර්ගය ක්‍රමවත්ව හදන්න තිබුණා.

හැබැයි ඒ බාධා කරපු අයට තමයි මේ ගංවතුර ප්‍රශ්නයට අදාළ චෝදනා යොමු වෙන්න ඕනේ. ඒ වගේම ගම්පහ ප්‍රදේශයේ අධිවේගී මාර්ගය යන්න තිබුනේ කුලුණු මතින්. යහපාලනය ඇවිල්ලා ඒවා වෙනස් කළා. ඒ නිසා සමහර ප්‍රශ්න අපිට නිවැරදි කරගෙන යන්න සිදුවෙලා තියෙනවා.

2015 අගභාගයේ මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩසටහනෙන් සැලසුම් කරපු සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් යහපාලන කාලයේ සිද්ද වුනේ නැහැ. වසර පහකට පසුව අපි යළි එම ව්‍යාපෘති ආරම්භ කිරීමට කටයුතු කළා. වැඩ බිමක් වෙලා තිබුණු රට මුඩු බිමක් බවට පත්වුණේ යහ පාලන කාලයේ කියන එක ජනතාව විසින්ම කියන තත්ත්වයට පත් වුණා. විදෙස් රටවල අධිවේගී මාර්ග දැක්කම අපි හිතුවා කවද්ද අධිවේගී මාර්ග ලංකාවේ හැදෙන්නෙ කියලා. යුද්ධය ඉවරවුනාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දියුණු අධිවේගී මාර්ග පද්ධතියක් ලංකාව තුළ ස්ථාපිත කරන්න කටයුතු කළා.

ඒ විතරක් නෙමේ ගමේ පාර කාපට් සහ කොන්ක්‍රිට් ඇතිරීම දක්වා සංවර්ධනය ගෙන එන්න එතුමා කටයුතු කළා. සමහර විදෙස් රටවල් වලට වඩා ඉහළ සංවර්ධනයක් වෙමින් පැවති රටක් යහ පාලනය විසින් නවතා දැමුවා. සංවර්ධනය ඇනහිටපු අවුරුදු පහටත් එක්කම කිලෝ මීටර් ලක්ෂයක් මාර්ග සංවර්ධනය කරන්න ජනාධිපතිතුමා ඉලක්කයක් ලබා දීලා තියෙනවා.

අපි එන්නතකරණ කටයුතු කරන්න චීනෙන් සයිනෝෆාම් එන්නත ගේන්න හදනකොට ඒක නවත්තන්න විශාල උත්සාහයක් විපක්ෂය පාර්ලිමේන්තුවේ ඉඳන් කළා. මේ එන්නත සුදුසු නැහැ. මේ එන්නත අනුමත කරලා නැහැ. මේ එන්නත ගැනීමෙන් අතුරු ආබාධ එනවා. හැබැයි මේ එන්නත ඇමරිකාව පවා පිළිඅරගෙන තියෙනවා ලෝකයේ අංක එකටම තියෙන එන්නතක් විදියට. විපක්ෂය විසින් එහෙම බාධා ක⁣ළේ නැතිනම් අපිට මේ වෙනකොට මිලියන හයකට වැඩිය පිරිසකට එන්නත දීලා ඉවර කරන්න තිබුණා.

මේ සියලු බාධක අපි ජයගෙන අපි එන්නත්කරණ වැඩපිළිවෙල කරගෙන යනවා. අපි හිතනවා ඉදිරි මාස දෙක තුළ එන්නත දෙන්න සුදුසු අයගෙන් 70%කට වඩා එන්නත දීලා ඉවර කරන්න පුලුවන් කියලා. එහෙම වුනොත් අපිට සංවර්ධන කටයුතු හා අනෙකුත් වැඩසටහන් සාමාන්‍ය පරිදි කර ගෙන යන්න පුලුවන් වෙනවා. අපේ එන්න්තකරණ වැඩපිළිවෙලට රුසියාව, චීනය, ඉන්දියාව, ඇමරිකාව ඇතුලු රටවල් උදව් කරනවා.

යැයිද රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් කියා සිටියා.

 

Hits: 0

You might also like
Comments
Loading...