ගම්පහ ගංවතුරට හේතුවුනේ යහපාලන රජයේ අදූරදර්ශී වැඩපිළිවෙලයි

සංචාරක  අමාත්‍ය ප්‍රසන්න රණතුංග

0 17

ගම්පහ ගංවතුරට හේතුවූයේ ඉකුත් යහපාලන රජයේ අදූරදර්ශී වැඩ පිළිවෙළයැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.  

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයට බලපෑ ගංවතුර තත්ත්වය පිළිබඳ අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ඊයෙ (07) පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙලෙස කියා සිටියා.

“ගම්පහ ගංවතුරට ප්‍රධාන කාරණා තුනක් බලපාලා තියෙනවා. 2015 ට කලින් අධිවේගී මාර්ගය හදන්න සැලසුම් කර තිබුණේ කණු මතින්. පසුගිය යහපාලන රජය ඒ සැලසුම ක්‍රියාත්මක කරනවා වෙනුවට පස් දමා පිරවීම ගංවතුරට බලපෑවා. ඒ වගේම  පහසුකම් සැපයීමේ මාර්ගයේ අඩුපාඩුත් ගංවතුරට බලපාල තියෙනවා.

වතුරේ බැස යාමේ මූලාශ්‍ර වන ඇළවේලි පිළිසකර කිරීමක් අවසන්වරට සිදු කෙරුණේ බැසිල් රාජපක්ෂ මහතා ගම්පහ දිස්ත්‍රික් නායකයා වශයෙන් සිටින කාලයේ. පහුගිය කාලයේ ඊට අවශ්‍ය කිසිදු පියවරක් අරගෙන නැහැ. දිසාපතිතුමා සමග සම්බන්ධ වෙලා ඒ සඳහා වැඩපිළිවෙළක් අපි සකස් කරමින් තිබෙනවා. 

ගංවතුර තත්ත්වයට මුහුණ දුන් ජනතාවට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ග්‍රාමීය කමිටු හරහා වියළි ආහාර ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. නිවාස හානි යථා තත්ත්වයට පත් කිරීමටත්,  පීඩාවට පත් අයට වන්දි ලබාදීමටත් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් සහ මුදල් අමාත්‍යංශය දිසාපතිවරයාට මුදල් එවා තිබෙනවා. ඒ සඳහා දිසාපති කාර්යාලය සැලසුම්  සකස් කරනවා.”

සංචාරකයින්ට මෙරටට පැමිණීමේ අවස්ථාව ලබාදීම හේතුවෙන් නව කොවිඩ්  වෛරස ප්‍රභේද ඇතිවිය හැකි බවට විපක්ෂ නායකවරයා කරන ප්‍රකාශ සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියා.  

ඊට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කර සිටියා.

“විපක්ෂ නායකතුමා කියන්නේ මොනවා හරි කියවන කෙනෙක්. කියවන්න පහසුයි. මේ වෙලාවේ කියවනවාට වඩා කරන්න වැඩ තියෙනවා. විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායම හැමවිටම උත්සාහ දරන්නේ ජනතාව නොමඟ යවන්න. බොරු වපුරලා ජනතාව රවටා බලය ගන්නයි විපක්ෂය  දඟලන්නේ. සජිත් බලයේ හිටියනම් මේ වෙනකොට  රටම විශාලා මහනුවරක් වෙලා. “

Hits: 0

You might also like
Comments
Loading...