කොවිඩ් මර්දන එන්නත ලබාදීමෙන් පසු ඇඟලුම් සේවිකාවන් පිරිසකට ආසාත්මිකතාවක්

අතුල බණ්ඩාර - අනුරාධපුර

0 21

අනුරාධපුර, පණ්ඩුලගම ඇඟලුම් කම්හලක සේවක, සේවිකාවන්ට අද  (11) දහවල් සිනොපාම් කොවිඩ් මර්දන එන්නත ලබාදීමෙන් පසු සේවිකාවන් පිරිසකට ආසාත්මිකතාවක් හටගැනීම හේතුවෙන් ඒ අතරින් කොටසක් ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කරනු ලැබුවා.

ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ඇඟලුම් කම්හලේ සේවය කරන දහසකට ආසන්න සේවක සේවිකාවන් සඳහා ක්‍රියාත්මක කළ එන්නත් කරණ වැඩසටහනේදී ඉන් හතළිහකට ආසන්න සේවිකාවන් පිරිසකට ආසාත්මිකතාවක් ඇතිවූ බව එන්නත ලබාගත් සේවිකාවක් කියා සිටියා.

මේ සම්බන්ධයෙන් එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරියෙකුගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ , එන්නත ලබාගත් සේවක සේවිකාවන් පැය කිහිපයක්  විවේකීව සිටිය යුතු වුවත්, ඔවුන් දිගටම සේවය කිරීම හා ඔවුන් සේවය කළ ආයතන පරිශ්‍රය වායු සමනය කර නොතිබීම නිසා ඒ අතර සිටි පිරිසකට වමනය හා ක්ලාන්තය හටගෙන තිබු බවයි.

ඒ සියලු දෙනා  සඳහා ඇඟලුම් කම්හලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉඩ ප්‍රමාණවත්නොවීම නිසා ඉන් කොටසක් ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට යැවූ බව කී එම නිලධාරියා, මේ ආසාත්මිකතාව ඔවුන්ට  එන්නතේ බලපෑමකින් හටගත් එකක් නොවන බවද කියා සිටියා.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසුවේ රෝහලට ඇතුළත් කෙරුණු සියලු දෙනාගේම තත්ත්වය යහපත් බවයි.

You might also like
Comments
Loading...