වැලිගමින් ගොඩබිමට ගෙනඒමට උත්සාහ කළ කුඩු කිලෝ 219ක් අල්ලයි

0 7

මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 219කට අධික තොගයක් සමඟ සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා.

ඒ වැලිගම පොල්වතුමෝදර වෙරළ ආශ්‍රීත ප්‍රදේශයේ ඊයේ(12) රාත්‍රියේ දී නාවික හමුදාව විසින් සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.

මෙම විශේෂ මෙහෙයුමේදී බහුදින ධීවර යාත්‍රාවක් මඟින් වැලිගම ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට රැගෙන විත් පසුව ඩිංගි යාත්‍රාවක් යොදා ගනිමින් වැලිගම, පොල්වතුමෝදර ප්‍රදේශයෙන් ගොඩබිම වෙත ප්‍රවාහනය කර සැඟවීමට උත්සාහ කළ උර සහ ගෑස් සිලින්ඩර තුළ සූක්ෂම ලෙස අසුරා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 219 ග්‍රෑම් 800ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්ව තිබෙනවා.

මෙහිදී බහුදින ධීවර යාත්‍රාවක් සහ ඩිංගි යාත්‍රාවක් සමඟ එම යාත්‍රාවන්හි සිටි ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 09 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකපිට නාවික හමුදා භාරයට ගන්නා ලද බහුදින ධීවර යාත්‍රාව 2021 මැයි මස 11 වන දින මාතර, කොට්ටේගොඩ ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇති අතර, ජාත්‍යන්තර මුහුදේදී විදේශීය ජාවාරම්කරුවන් මාර්ගයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය බහුදින ධීවර යාත්‍රාව වෙත ලබා ගන්නට ඇති බවට සැක කරනවා.

එසේම නාවික හමුදා භාරයට ගන්නා ලද මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ වීදි වටිනාකම රුපියල් මිලියන 1758කට අධික වෙතැයි විශ්වාස කරන බවයි නාවික හමුදාව පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26 ත් 43 අතර වයසේ පසුවන වැලිගම, අහංගම, දික්වැල්ල, කොට්ටේගොඩ, ඉහළවත්ත, මිරිස්ස, පොල්වතුමෝදර සහ පිළියන්දල ප්‍රදේශයන්හි පදිංචිකරුවන් පිරිසක් බවට හදුනාගෙන තිබෙනවා.

එම සැකකරුවන් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විට නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකරමින් පවතිනවා.

You might also like
Comments
Loading...