මොරගහකන්ද ජල ව්‍යාපෘතිය යටතේ ඉදිවන ඉහළ ඇලහැර ඇල මාර්ගයේ කැනීම් කරන ලද ගල් මත සිරවී සිටි වනඅලියෙකු මුදා ගැනීමට ඇලහැර වනජීවි නිලධාරීන් ඊයේ (13) පියවර ගෙන තිබෙනවා.
ව්‍යාපෘතියේ කම්කරුවෙකු විසින් සිදුකරන ලද දැනුම්දීමකට අනුව ක්‍රියාත්මක වූ ඇලහැර වනජීවි නිලධාරීන් වනඅලියා මුදාගැනීමට කටයුතු කර තිබෙනවා.
පසුගියදා රාත්‍රියේ (12) මෙම වනඅලියා ඉහල ඇලහැර වාරි ඇළට වැටී ඇති බවයි ඇලහැර වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක ආර්.එම්.සී. බණ්ඩාරනායක මහතා කියා සිටියේ.
මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය මගින් ක්‍රියාවට නැංවෙන ඉහළ ඇලහැර ඇල ඔස්සේ මහකනදරාව දක්වා මොරගහකන්දේ ජලය ගෙන යාමට යෝජිතයි.
මේ වන විට එහි වැඩකටයුතු ඇණහිට ඇති අතර, කැනීම් සඳහා යොදාගත් භූමියෙහි විශාල ගල් කුට්ටි සහ වලවල් දක්නට ලැබෙයි.
වනඅලි මංකඩක් වන මෙම ඇළ මාර්ගය පිහිටි ප්‍රදේශයට වනඅලි නිතර පැමිණිම හේතුවෙන් මීට පෙරද වනඅලීන් අනතුරට ලක්වී ඇතැයි අප කළ විමසීමක දී බණ්ඩාරනායක මහතා කියා සිටියා.
වනඅලීන් නිරන්තරයෙන් අනතුරට ලක්වීම සම්බන්ධයෙන් මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය මීට පෙර අවස්ථා ගණනාවක දී දැනුවත් කර ඇති බව කියා සිටි බණ්ඩාරනායක මහතා අවධාරණය කර සිටියේ පවතින ගල් කුට්ටි සහිත වළවල් වසා දැමීමක් සිදු නොකලහොත් ඉදිරියේදී ද වනඅලීන් අනතුරට ලක්වීම වැලැක්විය නොහැකි බවයි.
Hits: 0