විහිළු සැපයීම නවත්වා තෙල්මිල පහත දමනු

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

0 22

ආණ්ඩුව එකකට එකක් නොපරදින ලෙසින් ජනතාවට විහිළි සපයමින් සිටින බවත් තෙල් මිල වැඩි කිරීම පිළිබඳ පොහොට්ටුවේ ලේකම්වරයා විසින් අතිශයින්ම විහිළු සහගත නිවේදනයක් නිකුත් කොට පැය කිහිපයක් යන විට ජනාධිපති මාධ්‍ය අංශය විසින්ද ඊට නොදෙවැනි නිවේදනයක් නිකුත් කොට ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ නිවේදනයක් නිකුත් කරමිනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනය

විහිළු සැපයීම නවත්වා තෙල්මිල පහත දමනු

ආණ්ඩුව එකකට එකක් නොපරදින ලෙස ජනතාවට විහිළු සපයමින් සිටී.තෙල් මිල වැඩි කිරීම පිළිබඳව පොහොට්ටුවේ ලේකම් විසින් අතිශයින්ම විහිළු සහගත නිවේදනයක් නිකුත් කොට පැය කිහිපයක් යනවිට ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊට නොදෙවෙනි විහිළු සහගත නිවේදනයක් නිකුත්කොට තිබේ. එකී නිවේදනය ප්‍රකාරව දේශීය නිෂ්පාදන මත රඳා පවතින ආයෝජන හා පරිභෝජන ආර්ථිකයක් බවට පරිවර්තනය කර ගැනීමට රජය ගත් තීරණයකට අනුව තෙල් මිල ඉහළ නංවා තිබේ.

මේ දරුණු ව්‍යසනකාරී මොහොතේ ජනතාවගේ ජීවිත මත උසුලාගත නොහැකි ජීවන බරක් පටවා ඇති ආණ්ඩුව තෙල් මිලද ඉහළ නංවා ‘දේශීය නිෂ්පාදන දිරිගැන්වීමට’ තෙල් මිල ඉහළ නැංවූ බවට අවිචාරවත් තර්කයක් ගෙනැවිත් තිබේ.

දේශීය නිෂ්පාදනවලට දිරි දෙන බව පවසමින් පොහොර තහනම් කළ ආණ්ඩුව කාබනික පොහොර’ පිටරටින් ආනයනය කිරීමට යයි. දේශීය පොල්තෙල්, රටේ පරිභෝජනයට අවශ්‍යතරම් තිබියදී පොල්තෙල් ආනයනයට බදු සහන දෙයි.මෙරට ගොවීන්ගේ වී අස්වැන්න ලැබෙන විටම පිටරටින් සහල් ආනයනය කරයි.

එහෙව් ආණ්ඩුව තෙල්මිල ඉහළ නංවමින් දේශීය නිෂ්පාදනවලට දිරි දෙන බව පැවසීම තරම් හාස්‍යයක් තවත් තිබේද?.

මෙය මහ දවල් සිදුකළ මංකොල්ලයකි.ජනතාව පටි තදකරගෙන දුක් විඳිද්දී ඒ් ගැන නොතකා හැර සැප වාහන වාහන ගෙන්වීමට ණයවර නිකුත් කළ ආණ්ඩුව තෙල් මිලද ඉහළ නංවා සිය සාපරාධී ස්වරූපය මනාව ඔප්පුකර තිබේ.

දේශීය ආර්ථිකය නැංවීමට නම් ඛණිජ තෙල් සඳහා දේශීය විකල්ප ඇති කළ යුතුය. එසේ කිරීමට පෙර මිල ඉහළ දැමීමෙන් දේශීය නිෂ්පාදන තව දුරටත් අඩාල වීම සිදුවේ.රසායනික පොහොර තහනම් කොට ආණ්ඩුව ගොවි ජනතාව දුරදිග නොබලා කබලෙන් ලිපට දැමූ අතර දේශීය නිෂ්පාදන වලට විකල්පයක් ඇති නොකර තෙල් මිල නංවා ආණ්ඩුව සමස්ත රටම වල පල්ලට දමා ඇත.

2020 වසරේ ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල ගණන් සැසදීමේදී අවම තරමින් ඩීසල් ලීටරය රු.104 සිට රු.91.92 දක්වාත් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය රු.137 සිට රු.124.30 දක්වාත්,භූමිතෙල් ලීටරය රු.70 සිට 58.80 දක්වාත් අඩු කොට ජනතාවට සහනයක් ලබා දීමේ හැකියාව අප ඒ් දිනවල දිගින් දිගටම අවධාරණය කළද ආණ්ඩුව එම ඉල්ලීම අවඥාවෙන් බැහැර කළ අතර ඇතැම් ඇමැතිවරු කීවේ ‘තෙල්මිල අඩු නොකරන්නේ ජනතාව රස්තියාදුවේ යයි’ කියා ය.

තෙල්මිල සථායිකරණ අරමුදලක් ආරම්භකොට තෙල්මිල අඩුවීමේ මුදල් ඊට යොමුකරන බවත්,තෙල්මිල වැඩිවූ විට ඒ අරමුදල යොදාගෙන ජනතාවට වාසිය සලසන බවත් 2020 මාර්තු 19 ඇමැති බන්දුල ගුණවර්ධන පැවැසීය.

එම අරමුදලට සිදුවූ දේ අපි විමසා සිටිමු.

මිනිස් ජීවිත සමඟ මෙතරම් විහිළු කරන පාලනයක් මෙරට ඉතිහාසයේ හෝ තිබී නැත.

අපි නැවතත් ආණ්ඩුවට අවධාරණය කරන්නේ තෙල්මිල ඉහළ දැමීමට ගත් තීන්දුව නොවලහා හකුලාගන්නා ලෙසත් ජනතාව පෙලීමට ගත් තීරණය ආපසු හරවාගන්නා ලෙසත් ය.

 

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක සහ සමඟි ජනබලවේගයේ නායකයක

 

Hits: 0

You might also like
Comments
Loading...