ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් ගණන 267000ත් මරණ 3300 ත් ඉක්මවයි

0 59

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව 267433ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ(06) දිනයේදී මෙරටින් වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 934ක් වනවා.

මේ අතර කොවිඩ් 19 ආසාදිතව මෙරට රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයන්ගේ සංඛ්‍යාව 27506ක් වන අතර ආසාදිතයන් 236659ක් සුවය ලබා තිබෙනවා.

ඊයේ(06) දිනයේදී ද සුවය ලැබූ ආසාදිතයන් 1717 දෙනෙක් රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ඊයේ දිනයේදී කොවිඩ් 19 ආසාදිත තවත් මරණ 45ක් වාර්තා වීමත් සමගින් මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 3313ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එලෙස මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයන් 30 දෙනෙක් සහ කාන්තාවන් 15 දෙනෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

එම දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නිවේදනයට අනුව ඊයේ(06) දිනයේ වාර්තා වූ මරණ අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයෙකු මියගොස් ඇති අතර වයස අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් හය දෙනෙකුගේ සහ කාන්තාවන් දෙදෙනෙකුගේ මරණ වාර්තා වනවා.

එසේම වයස අවුරුදු 60ට වැඩි පිරිමි පුද්ගලයන් 23 දෙනෙකුගේ සහ කාන්තාවන් 13 දෙනෙකු මරණද ඊයේ(06) දිනයේදී වාර්තා වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර පුද්ගලයන් 1033 දෙනෙක් කොරෝනා රෝගීන් ලෙස සැකසහිත රෝගීන් ලෙසට රෝහල් ගත කර ඇති බවද වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

කොවිඩ් මර්දන එන්නතහි කුමන හෝ එන්නතකින් එක් මාත්‍රාවක් හෝ ලබාගත් සංඛ්‍යාව ඊයේ(06) රාත්‍රී 9 පමණ වන විට 3104966ක් බවත් ඉන් 1269101 දෙනෙක් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවත් වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

Hits: 0

You might also like
Comments
Loading...