නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයට අතගහයි

ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක - මස්කෙළිය

0 108

නොර්වූඩ් ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුළ එකතුවෙන අපද්‍රව්‍ය උපයෝගී කර ගනිමින්  කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව එම ප්‍රාදේශිය සභාවේ සභාපති කේ.කේ. රවී මහතා පවසනවා.

මෙම කොම්පෝස්ට් නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සඳහා පලාත් පාලන අමාත්‍යාංශයේ නිරීක්ෂණ නිලධාරිවරයෙක් හා  ප්‍රාදේශිය සභාවේ පරිසර නිලධාරියාද සමග පසුගිය 07 දා පස්වරුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් සභාපතිවරයා එසේ කියා සිටියා.

නොර්වුඩ් ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයෙන් දිනකට එක් රැස්වන කසල ටොන් 03න් දිරණ කසල ටොන් 02ක් පමණ උපයෝගී කරගනිමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීම මුලින්ම ආරම්භ කළ බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කර ඇති මෙම ජාතික වැඩසටහන තුළින් ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර ලබාදීමේ අරමුණින් ප්‍රදේශයේ ගොවි ජනතාවට කාබණික පොහොර  අවශ්‍යතාවය සපුරාදීම තම මූලික පරමාර්ථය බවත් කී නෝර්වූඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති කේ.කේ.රවි මහතා වැඩිදුරටත් කියා සිටියේ, මෙම උදාර සංකල්පය සාර්ථක කර ගැනීම සඳහා තම ප්‍රාදේශිය සභාවේ උපරිම දායකත්වය ලබා දෙන බවයි.

නෝර්වූඩ් ප්‍රාදේශිය සභාව ආරම්භ කර වසර 02 ක පමණ කාලයක් නිසා මුලින්ම මහා පරිමාණයෙන් මෙම ව්‍යාපෘතිය කරගෙන යාමට තවම පහසුකම් ප්‍රමාණවත් නොමැති නිසා සුළුවෙන් ආරම්භ කර ඇති බව පවසන නෝර්ඩූඩ් ප්‍රාදේශිය සභාවේ පරිසර නිලධාරිණී යමුණා මහත්මිය, ව්‍යාපෘතියේ දැනට සේවයේ යෙදී සිටින කම්කරුවන් තාවකාලික පදනම මත සේවය කරන අය නිසා ප්‍රාදේශිය සභාවට ඔවුන්ට වැටුප් ගෙවීම අපහසු තත්වයක පවතින බවත්, රජය මගින්  මූල්‍ය ප්‍රතිපාදන   ලබා දෙන්නේ නම් මෙම ව්‍යාපෘතිය සාර්ථකව පවත්වාගෙන යා හැකි බවත් ඇය  වැඩිදුරටත් අදහස් දක්වමින් කීවාය.

පලාත් පාලන අමාත්‍යාංශයේ නුවරඑළිය දිස්ත්‍රික් සමීක්ෂණ නිලධාරි ජනක මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, සෞඛ්‍ය සම්පන්න ජනතාවක්  රටක ජීවත්වීම අරමුණු කරගනිමින් ජනාධිපතිතුමා ආරම්භ කළ  මෙම සංකල්පය ඉතා ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් බවත්, අනාගත පරම්පරාව නිරෝගී වීමට නම් රසායනික පෙහොර වලින් ඉවත්වී කාබණික පොහොර වලට යොමුවීම අනිවාර්ය බවත්, ඒ සඳහා නොර්වූඩ් ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමා ඇතුළු සේවක  පිරිස දරණ උපරිම උත්සාහය  ඉතා අගය කරන බවත්ය.

පලාත් පාලන කොමසාරිස් තුමා හා මධ්‍යම පලාත් ආණ්ඩුකාරතුමා, දැනට ක්‍රියාත්මක කර ඇති මෙම ව්‍යාපෘතිය සාර්ථකව පවත්වාගෙන යාම සඳහා උපරිමයෙන් මැඳිහත්ව සිටින බව පවසන ජනක මහතා, වසරක් තුල මේ සඳහා අවශ්‍ය පහසුකම් සියල්ල ලබා දී මෙම ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීම අරමුණ වී ඇති බව වැඩිදුරටත් කියා සිටියා.  

නෝර්වූඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති කේ.කේ.රවි, නුවරඑළිය සහකාර පලාත් පාලන කාර්යාලයේ  විගණන නිලධාරී ජනක රණතුංත, ප්‍රාදේශිය සභාවේ පරිසර නිලධාරිණී කේ.එම්. යමුණා කැකුලන්දර, යන මහත්ම මහත්මීන් මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා එක්ව සිටියා.

 

 

Hits: 0

You might also like
Comments
Loading...