සායනික අපද්‍රව්‍ය ඇතුළු කැලිකසල දැමීම නිසා වැටහිර කන්ද රක්ෂිතයේ මහා පරිසර හානියක්
ජයන්ත වීරසේකර - වැල්ලවාය
වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති තණමල්විල වැටහිර කන්ද ස්වාභාවික රක්ෂිතයට සායනික අපද්‍රව්‍ය ඇතුළු කැලිකසල බැහැර කිරීම හේතුවෙන් රක්ෂිතයේ විශාල පරිසර හානියක් සිදුවෙමින් පවතින බව වාර්තා වනවා.
මෙම වැටහිර කන්ද ස්වාභාවික රක්ෂිත ප්‍රදේශය තුල වනඅලින්,මුවන්,ගෝන්නුන්,ඉත්තෑවන්,මීමින්නන් ඇතුළු වඳවී යෑම තර්ජනයට මුහුණ පා සිටින වනසතුන් රැසක්ම ජීවත් වෙන අතර එම වනසතුන්ගේ ජීවතවලට මෙම අපද්‍රව්‍ය බැහැර කිරීම දැඩි තර්ජනයක්වී තිබෙනවා.
රෝහල්වලින් ඉවත් කරන සායනික අපද්‍රව්‍ය, සැලොන් ආයතනවලින් ඉවත් කරන අපද්‍රව්‍ය, මත්පැන් බෝතල්, පොලිතීන් ප්ලාස්ටික් ඇතුළු කැලිකසල රැසක්ම රක්ෂිත ප්‍රදේශයට බැහැර කර ඇති ආකාරය දක්නට ලැබෙනවා.
මෙම රක්ෂිතයේ ජීවත් වන වනසතුන් මෙම කැලිකසල ආහාරයට ගැනීම නිසා ඔවුන්ගේ ජීවතවලටද දැඩි තර්ජනයක් එල්ල වී තිබෙනවා.
මෙම රක්ෂිත ප්‍රදේශයට විවිධ ස්ථානවලින් මෙලෙස කැලිකසල ගෙනැවිත් දමා ඇති අතර වැටහිර කන්ද ස්වාභාවික රක්ෂිත ප්‍රදේශයේ මෙම පරිසර විනාශය කඩිනමින් නතර කර දැමීම බලධාරින් සතු වගකීමක් වනවා.
Hits: 3