අන්තර්ජාලය හරහා දැරිය විකිණීමේ සිද්ධිය: මිහින්තලේ උප සභාපති වෛද්‍යවරයා හා කෝටිපතියන් හඳුනාගනී

0 32

බාල වයස්කාර දැරියකට ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදී හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර තිබූ මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාත්, හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා හා කෝටිපති මැණික් ව්‍යාපාරිකයෝ දෙදෙනා වින්දිත දැරිය විසින් ඊයේ (09 දා හඳුනාගනු ලැබූහ.

එම හඳුනා ගැනීමේ පෙරට්ටුව කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ප‍්‍රදීපා ලෝචනි අබේවික‍්‍රම වීරසිංහ මහත්මිය හමුවේදී පැවැති අවස්ථාවේදී වින්දිත දැරිය විසින් එම සැකකරුවන් සිවුදෙනාවම ඉතා පහසුවෙන් හඳුනා ගෙන තිබිණි.

හඳුනා ගැනීමේ පෙරට්ටුවෙන් අනතුරුව විවෘත අධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී එම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ රොෂාන් දෙහිවල හා නීතිඥ අජිත් කාරියවසම් යන මහත්වරුන් කළ ඉල්ලීම සලකා බැලූ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය දැඩි ලෙස කොන්දේසි පනවා එම සැකකරුවන් සිවුදෙනා ඇප මත මුදාහැරීමට ද නියෝග කළාය.

රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 25,000 බැගින් වූ ශරීර ඇපකරුවන් අටදෙනකුගේ ඇප බැඳුම්කර මත ඔවුන් සිවුදෙනා මුදාහැරීමට නියෝග කළ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය ඇප ලබා ගැනීමෙන් අනතුරුව සතියේ සෑම ඉරිදා දිනකම පෙරවරුවේ ළමා හා කාන්තා කාර්යාංශය හමුවේ පෙනී සිටිය යුතු බවට ද ඇප කොන්දේසියක් පැන වූවාය.

ඇප ලබා ගැනීමෙන් අනතුරුව පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට හෝ ඉදිරි විමර්ශන කටයුතුවලට කුමන ආකාරයකින් හෝ බලපෑමක් කළ බවට වාර්තා වුවහොත් ඇප අවලංගු කර නැවත රක්ෂිත බන්ධනාගාරගත කරනා බවට අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එහිදී සැකකරුවන්ට අවවාද කළාය.

එම සැකකරුවන් සමාජයේ ඉහළ තලවල සිටිනා පුද්ගලයින් වන බැවින් ඇප මත මුදාහැරීමෙන් ඉදිරි විමර්ශනවලට හා සාක්ෂිවලට අහිතකර ලෙස මැදිහත්වීමේ ඉඩකඩ පවතින බවත් ඇප ලබාදීමක් කළහොත් මහජන කැළඹීමක් ඇති වීමේ ඉඩකඩ පවතින බවත් පෙන්වා දුන් විමර්ශන නිලධාරීන් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එම සිද්ධියේ ප‍්‍රධාන සැකකරු තමන්ව විවිධ ආකාරයෙන් විවිධ පුද්ගලයන්ට ලිංගික කටයුතු සඳහා ලබාදුන් බවත් මෙම සැකකරුවන් සිවුදෙනා කිසිදු විටෙක තමන්ගේ වයස විමසීමක් නොකළ බවත් තමන් වයස අවුරුදු 18 – 19 වයසේ පසුවන අයකු ලෙස හඳුන්වාදී ඔවුන්ට ලබාදුන් බව වින්දිත දැරිය විසින්ම ප‍්‍රකාශ කොට ඇති බව පෙන්වාදුන් අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන මේ වනවිට අවසන් වී ඇති බව විමර්ශන නිලධාරීන් පෙන්වාදී තිබියදී තවදුරටත් රක්ෂිත බන්ධනාගාර භාරයේ තබාගැනීම නුසුදුසු බව සිය අධිකරණයට පෙනී යන්නේ යැයි ද පෙන්වා දුන්නාය.

එමෙන්ම එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනා ගැනීමේ පෙරට්ටු සඳහා යොමු කර රක්ෂිත බන්ධනාගාරගත කළ අවස්ථාවලදී සමහර ජනමාධ්‍ය විසින් ඔවුන්ගේ නම් ගම් පවා පළ කර ඇති බවට හඳුනා ගැනීමේ පෙරට්ටුව පැවැති අවස්ථාවේදී සැකකරුවන්ගේ නීතිඥවරුන් තමන්ට පැමිණිලි කළ බවත් එහිදී විවෘත අධිකරණය හමුවේදී අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය පෙන්වා දුන්නාය.

එවැනි කි‍්‍රයා නිසා සැකකරුවන්ගේ ළඟම ඥාතීන්ට අගතිදායක තත්ත්වයකට මුහුණ දීමට සිදු වී ඇති බවට ද එකී නීතිඥවරුන් පෙන්වාදී ඇති බවත් එහිදී පෙන්වාදුන් අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය සැකකරුවන්ගේ මෙන්ම වින්දිත දැරියගේ ද අනන්‍යතාවය අනවශ්‍ය ලෙස අනාවරණය නොකර හොඳින් සිතා බලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරනා ලෙසට තමා ජනමාධ්‍යවේදීන්ට ආරාධනාවක් කරන්නේ යැයි ද පෙන්වා දුන්නාය.

එය තම අධිකරණය විසින් කරනා නියෝගයක් නොව ආරාධනාවක් පමණක් වන්නේ යැයි ද අතිරේක මහෙස්ත‍්‍රාත් ලෝචනී අබේවික‍්‍රම මහත්මිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

එකී දැරියව මුදලට ලිංගික කටයුතුවල යෙදවීම සඳහා දැන්වීම් පළකළ තවත් වෙබ් අඩවියක හිමිකරුවකු ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදී නියෝග කළ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය ඔහුට ඒ සඳහා ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ තවත් සැකකරුවන් දෙදෙනකු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

එම සැකකරුවන් දෙදෙනාව එදිනට හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ආවරණය කොට අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසට ද අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එහිදී බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.

නීතිඥ නිර්මාල් කොඩිතුවක්කු, පි‍්‍රයංක ගුණරත්න, අජිත් කාරියවසම් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ රොෂාන් දෙහිවල මහතා සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

උපුටා ගැනීම – දිවයින පුවත්පතිනි

You might also like
Comments
Loading...