සයිනෝෆාම් එන්නත් තවත් මාත්‍රා මිලියන 02ක් දිවයිනට

0 22

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් මිලියන 2ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 ක් මඟින් අද (11) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙනැවිත් තිබෙනවා.

ඒ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත්  යූ.එල්. 869 සහ යූ.එල්. 865 දරණ ගුවන් යානා දෙක මගින්. 

ඉන් එක් යානයක් චීනයේ බෙයිජිං නුවරින් අද අලුයම 12.15ට එන්නත් මාත්‍රා මිලියනයක් රැගෙන පිටත් වූ අතර අනෙක් යානය අද අලුයම 1.45ට පිටත් වී ඇත්තේ එන්නත් මාත්‍රා මිලියනයක්ද රැගෙනයි. 

ඒ අනුව යූ.එල්. 869 දරණ ගුවන් යානය අද අලුයම 5.10ට කටුනායකට පැමිණ ඇති අතර යූ.එල්. 865 දරණ යානය පැමිණ ඇත්තේ පෙරවරු 6.40ට පමණයි. 

තවත් එන්නත් මාත්‍රා මිලියන 2ක් මේ මාසය තුළ ලැබීමට නියමිත බවද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 

ඊට අමතරව තවත් ඇස්ට්‍රාසෙනිකා මිලියන 1.4ක් මේ මස තුන්වන සතියේ ද ස්පුට්නික් V එන්නත් තොගයක් මේ මාසය තුළ දී ද ලැබීමට නියමිත බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මේ වන විට ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රා මිලියන 6.57ක් ලැබී ඇති බව ද පැවසු යුද හමුදාපතිවරයා, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල සිටින වයස අවුරුදු 30ට වැඩි සියලුම ජනතාවට ජූලි මාසය අවසන් වීමට පෙර එන්නත් ලබාදීමට බලාපොරොත්තු වන බව ද කියා සිටියා. 

Hits: 2

You might also like
Comments
Loading...