මොඩර්නා එන්නත් ලක්ෂ 15 ක් ශ්‍රි ලංකාවට

0 39

කොවැක්ස් පදනම හරහා ඇමරිකානු රජය විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලබාදෙන මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක තොඟය අද (16) පෙරවරුවේ ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබෙනවා. 

කටාර් එයාර්වේස් ගුවන් සේවයට අයත් QR 0664 ගුවන් යානයෙන් අද පෙරවරු 9 ට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලෙන් මෙරටට ගෙන එන ලද මෙම මොඩර්නා එන්නත් තොගය බාරගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ සිටියා.

ඇමරිකානු රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිය වන ඇලයිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz) මහත්මිය සහ අන්තර්ජාතික සංවර්ධනය සදහා වූ එක්සත් ජනපද ආයතනය (USAIDS) අධ්‍යක්ෂ රීඩ් ඇච්ලිමන් මහතා (Mr. Reed Aeschliman), ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී සූසන් වෝක් (Mr. Susan Walke) යන මහත්වරුන් පැමිණ සිටියා.

මෙහිදී ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිය වන ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය විසින් එන්නත් තොගය නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත බාරදුන් අතර, මෙම අවස්ථාවට ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය අලාකා සිං මහත්මිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය ද සහභාගිව සිටියා.

මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙලෙස කියා සිටියා. 

“කොවිඩ් – 19 වසංගතය පාලනය කිරිමට වැදගත්වන එක් ක්‍රියාමාර්ගයක් ලෙස එන්නත් ලබාදීම අප රටට මහගු අවස්ථාවක්.

ලෝකයේ තිබෙන ඕනෑම එන්නතක් ලංකාවේ සුළබ කර ගැනීමට හැකියාව ලැබුණා. ලෝකයේ තිබෙන සෑම එන්නතක්ම අද ලංකාවේ ජනතාවට ලබාදෙන්න පුළුවන්කම ලැබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් කටයුතු කළ නිසා.

අප විශ්වාස කරනවා මාස දෙක තුනක් ඇතුලත මෙරට ජනතාව සම්පූර්ණයෙන් එන්නත් කරලා ඉවර කරන්න පුළුවන් වෙයි කියලා.

කොවිඩ් පදනම හරහා ඇමරිකානු රජයෙන් ලබාදුන් මෙම මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 න් 750,000 කට පළමු මාත්‍රාව ලෙසත්, ඉතිරි මාත්‍රා 750,000 දෙවන මාත්‍රාව ලෙසත් ජනතාවට ලබා දීමට කටයුතු කරනවා”

Hits: 1

You might also like
Comments
Loading...