රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ දැරියගේ මරණය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

0 129

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටිය දැරිය මියයෑම සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පොලීසිය තවදුරටත් විමර්ශන සිදුකරන බවයි. 

මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල ලබා මියගිය දැරියට දීර්ඝ කාලයක සිට ලිංගික ප්‍රවේශයක් සිදුවී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.

බොරැල්ල පොලීසිය සහ කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශය අදාළ විමර්ශන සිදුකරනු ලබනවා.

මෙම දැරිය ඩයගම ප්‍රදේශයේ පදිංචි දැරියක් වන අතර ඇය 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී මෙම නිවසට රැගෙනවිත් ඇති බවටද අනාවරණය වී තිබෙනවා.

එසේ රැගෙන එනවිට එම දැරියගේ වයස අවුරුදු 15යි මාස 11ක් බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

බොරැල්ල පොලිස් වසමේ බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ අදාළ දැරිය පසුගිය ජුලි 3 වනදා පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි එම දැරිය 15 වනදා මියගියා. 

Hits: 1

You might also like
Comments
Loading...