පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් යටකර පළාගිය ට්‍රැක්ටර් රියැදුරු අල්ලයි

අතුල බණ්ඩාර - අනුරාධපුර

0 13

අනවසරයෙන් වැලි ප්‍රවාහනය කළ ට්‍රැක්ටරයක් ඊයේ  (17) සවස 5.30 ට පමණ මඩාටුගම, බරාවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ගිය කැකිරාව පොලිසියේ සැරයන්වරුන් දෙදෙනෙක් එම ට්‍රැක්ටරයට  යටකර බරපතළ තුවාල සිදුකර පළාගිය රියදුරෙකු පසුව අත්අඩංගුවට ගත්  බව කැකිරාව පොලිසිය පවසනවා.

බරපතළ තුවාල ලැබූ රූපසිංහ (38664) සහ හේරත් (57757) යන සැරයන්වරුන් දෙදෙනා කැකිරාව මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වඩාත් බරපතල තුවාල ලබාසිටි සැරයන් රූපසිංහ මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල මුලික රෝහලට මාරු කර යැවුණා.

මඩාටුගම, බරාවිල ප්‍රදේශයේ සිදුවූ අපරාධයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට මෙම සැරයන්වරුන් දෙදෙනා සමග කැකිරාව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාර සහ සැරයන් සුරසේන (47705) යන මහත්වරු දෙදෙනා, යතුරුපැදි දෙකකින් එම ප්‍රදේශයට යද්දී වැලි පටවාගෙන එමින් තිබූ ට්‍රැක්ටරය ඔවුන්ට හමුවී තිබිණි .ඒ අවස්ථාවේ  ට්‍රැක්ටරය නවත්වන ලෙස පොලිස් නිලධාරීන් රියදුරාට අණ කළද එය නොතකා ඔහු ඉදිරියට ධාවනය කිරීම නිසා හේතුවෙන් මේ සැරයන්වරුන් දෙදෙනා යතුරුපැදියෙන්  ට්‍රැක්ටරය ලුහුබැඳ ගොස් ඊට ඉස්සර කර නැවතත් නවත්තන්නට අණකර තිබෙනවා.

ඒ අවස්ථාවේ යතුරුපැදියේ සිටි සැරයන්වරුන් දෙදෙනා යටකරගෙනම ඉදිරියට ට්‍රැක්ටරය ධාවනය කර  තිබෙන  රියදුරා, සැරයන්වරුන් දෙදෙනා සමග යටවූ යතුරුපැදිය ට්‍රැක්ටරය යට හිරවීම නිසා, ට්‍රැක්ටරය එතැන දමා පළා ගොස් තිබෙනවා.

බරපතළ තුවාල ලබා සිටි සැරයන්වරුන් දෙදෙනා, අනෙක් පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව කැකිරාව මුලික රෝහලට රැගෙනයාමට කටයුතු කර තිබු අතර, මේ සිද්ධිය ආරංචි වී වහා පැමිණි කැකිරාව පොලිසියේ තවත් නිලධාරීන් කණ්ඩායමක් පළාගිය රියදුරා සොයාගොස් මඩාටුගම, සුදර්ශනගමදී ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය බාරයට ගත් වැලි ට්‍රැක්ටරය  සහ 36 හැවිරිදි සැකකාර රියදුරා අද  (18) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කැකිරාව පොලිසිය මේ ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

Hits: 1

You might also like
Comments
Loading...