9 ලක්ෂයකට ආසන්න මුදලක් වැය කර සැදූ පාලම මසක් යාමටත් පෙර කැඩිලා

සජිත් ගයාන් උබේපාල - මැදවච්චය

0 15

මැදවච්චිය ප්‍රාදේශීය සභා අරමුදල් යටතේ පාඩික්ගම ගම්මානයේ සංවර්ධනය කළ ජල පොම්පාගාරය අසල මාර්ගයට දමා තිබූ බෝක්කුව මසක් ගත වීමටත් පෙර ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් කඩා වැටී ඇති බව පාඩික්ගම ගම්වාසින් පවසනවා.

මීටර් 500 කින් සමන්විත මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු සඳහා මැදවච්චිය ප්‍රාදේශීය සභා අරමුදල් යටතේ රුපියල් 837,757.19 ක මුදලක් ඇස්තමේන්තු කර තිබුණා.

මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරියකගේ යෝජනාවෙන් සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රිවරයෙකුගේ අධීක්ෂණය යටතේ පාඩික්ගම ගම්මානයේ ගොවි සමිතිය විසින් සංවර්ධනය කළ මෙම මාර්ගය නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකර ඇති බවට ගම්වාසීහු උතුරුමැද පළාත් පාලන දෙපාර්තමේන්තුවට ද මීට පෙර දැනුම් දී තිබෙනවා.

ඒ අනුව මෙම මාර්ගය පිළිබඳ සොයා බැලීමට පසුගිය දිනක උතුරුමැද පළාත් පාලන දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් පැමිණ ඇති අතර එහිදී මාර්ගයේ ඉදිකර ඇති ප්‍රමිතියෙන් තොර බෝක්කු පද්ධතිය සහ දමා ඇති බොරළු නැවත නිසි ප්‍රමිතියට පිළිසකර කර දැනුම් දෙන ලෙස පළාත් පාලන නිලධාරින් කොන්ත්‍රාත්කරුවන්හට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අතරතුර පෙරේදා (18) රාත්‍රියේ මෙම බෝක්කුව මැදින් බිදී ගොස් ඇති බව ගම්වාසීන් පවසනවා.

දිනෙන් දින සිදු වන මාර්ග සංවර්ධනය රටේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් සිදු විය යුතු බවත් කොන්ත්‍රාත්කරුවන්ගේ මඩිය පිරවීමට එය භාවිතා කිරීමට ඉඩලබා නොදිය යුතු බවත් බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ (එ.ජා.ප) විපක්ෂ නායක ආර්. වසන්ත රණතුංග මහතා ඒ පිළිබද මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියා.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක ආර්. වසන්ත රණතුංග මහතා මෙසේ ද කියා සිටියා.

මේ රටේ මාර්ග සංවර්ධනයට හෝ වේවා, වෙනත් සංවර්ධනයකට හෝ වේවා ඒවාට යොදවන මේ සෑම සතයක්ම මේ රටේ අහිංසක දුක් විදින ජනතාවගේ දහඩිය මහන්සියෙන් හම්බ කරලා රජයට බදු ලෙස ලබා දුන්න මුදල්.

අද අපට පේනවා මේ මාර්ගය සකස් කරලා මසක් ගත වීමටත් පෙර බෝක්කු කඩා වැටී ඇති බව.

මාර්ගයෙන් ජන ජීවිත වලට මරු කැඳවන  අගාධ අද සල්ලි වියදම් කරලා හදලා දීලා.

මේවා ඉදි විය යුත්තේ ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් මිසක් ජනතාවට මර උගුලක් කිරීමට නොවේ.

මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරියකගේ යෝජනාවෙන් සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රි වරයෙකුගේ අධීක්ෂණය යටතේ පාඩික්ගම ගම්මානයේ ගොවි සමිතිය විසින් සංවර්ධනය කළ මෙම මාර්ගය නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකළ මාර්ගයක් බව මෙතනට පැමිණෙන දෙකේ පන්තියේ ළමයෙකුටත් තේරෙනවා.

අපි වහාම මෙය නැවත මුල සිට නිවැරදි කරන්න කියල මේ අයට කියනවා.

එසේ සිදු නොකරන්නේනම් මේ ගමේ ජනතාවත් සමග එය සිදුකර දෙනතුරු වීදි බහින්න අපි සූදානම්.

You might also like
Comments
Loading...