ඇතුන්ගම , මාරාකුලමේදී ඊයේ (20) රාත්‍රියේ වල් අලි ප්‍රහාරයකින් 53 හැවිරිදි පුද්ගලයෙකු මරණයට පත්වී ඇතැයි තිරප්පනේ පොලිසිය පවසනවා.
අවිවාහකයෙකු වන මෙම පුද්ගලයා ගව පට්ටියක් බලාගන්නා අයෙකු බවත් ඊයේ රාත්‍රී 9.00 ට පමණ නිවසින් රාත්‍රී ආහාරය ගෙන, ගවයින්ගේ ආරක්ෂාවට ගව ගාලේ ඉදිකර තිබෙන පැළට පාපැදියෙන් යද්දී ගව ගාල පවත්වා ගෙන යන ඉඩම මායිමේදී ඔහු වල් අලි ප්‍රහාරයට ලක්ව තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී අනවරණ වී තිබෙනවා.
වල් අලි ප්‍රහාරයට ලක්ව මියගොස් සිටි මේ තැනැත්තා අද (21) අළුයම 1.00 ට පමණ මුලින්ම දැක ඇත්තේ ඊට යාබද වගා ඉඩමේ පදිංචි ඩි.බි.කරුණාරත්න නමැති අයෙකු විසින් බවත්, වගාව හානිකිරීමට පැමිණෙන වන සතුන් පළවාහැරීමට ඔහු විදුලි පන්දම දල්වාගෙන ඉඩම වටා ඇවිදිද්දී වල් අලි ප්‍රහාරයෙන් හානිවූ පා පැදිය දැක ඔහුට කරදරයක් වී ඇති බව අවබෝධවී අහල පහළ වගා ඉඩම්වල අයට කතාකර ඔවුන් සමග සොයද්දී වල් අලියා ඔහුට පහරදී හොඩවැලෙන් ඔසොවා අකුලකට විසිකර තිබෙනු දැක තිබූ බවත් පොලිස් පරීක්ෂණවලදී වැඩිදුරටත් අනාවරණ වී තිබෙනවා.
මියගොස් සිටි පුද්ගලයා පරීක්ෂා කිරීමේදී ඔහු මරණයට පත්වී ඇති බව අවබෝධ වීම හේතුවෙන් ඒ අය ඒ අවස්ථාවේම තිරප්පනේ පොලිසියට දැනුම්දී තිබෙනවා.
ඒ අනුව තිරප්පනේ පොලිසියේ උප පොලිස් පරීක්ෂක පරාසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මියගිය තැනැත්තාගේ මරණ පරීක්ෂණය අද(21) පැවැත්වීමට නියමිත අතර තිරප්පනේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.
Hits: 1