අවිදිමත් සංවර්ධනය නිසා කෑදැතිමඩම වැව විනාශයි – ගොවින් දැඩි පීඩාවට

ජයන්ත වීරසේකර - වැල්ලවාය

0 36

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මහආරගම ග්‍රාම නිලධාරී වසමේ කෑදැතිමඩම වැව අවිදිමත් සංවර්ධන ව්‍යාපෘතියක් නිසා විනාශ වෙමින් පවතින බව ප්‍රදේශයේ ජනතාව පවසනවා.

අවස්ථා ගණනාවකදීම සංවර්ධන ව්‍යාපෘති රැසක් යටතේ මෙම වැව සංවර්ධනය කිරීමේ කටයුතු සිදු කර ඇති නමුත් එම සංවර්ධන ව්‍යාපෘති සියල්ලක්ම අවිදිමත් ලෙස සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

එක් සංවර්ධන ව්‍යාපෘතියක් යටතේ වැව් බැම්ම සකස් කර ඇති අතර එම වැව් බැම්මද නිසි පරිදි සකස් කර නොමැති බවටයි ජනතාව චෝදනා කරන්නේ.

තවත් අවස්ථාවක රුපියල් ලක්ෂ ගණනක් වියදම් කර වැවේ පිටවාන ඉදිකර තිබුණද එයත් මේ වන විට කැලෑවට ගොස් විනාශ වෙමින් පවතින බව ප්‍රදේශයේ ගොවීන් පෙන්වා දෙනවා.

කෑදැතිමඩම ගොවි සමිතියේ ගොවීන් පනහකට ආසන්න පිරිසක් මෙම වැවේ ජලය ලබාගෙන වී වගාවන් සහ විවිධ වගා කටයුතු සිදු කරමින් සිය ජීවිකාව කරගෙන ගොස් ඇති නමුත් මේ වන විට ඔවුන්ට එම වගාවන් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා.

එලෙස ගොවින් වගාවන්වලින් ඈත් වීම නිසා විවිධ පිටස්තර පුද්ගලයන් මෙම ප්‍රදේශයේ ගොවින්ගේ වගා ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමේ කුමන්ත්‍රණයක් ද සිදු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

මෙම වැව නිසියාකාරව සකස් කර ලබාදෙන ලෙස ප්‍රදේශයේ ගොවීන් බලධාරින්ගෙන් ඉල්ලීමක් කර සිටින අතර එසේ මේ වැව සංවර්ධනය කලහොත් ප්‍රදේශයේ ගොවි පවුල් සීයකට ආසන්න පිරිසකට සෙත සැලසෙන බව ප්‍රදේශයේ ගොවීන් වැඩිදුරටත් පවසනවා.

You might also like
Comments
Loading...