මෙහෙකාර දැරියගේ මරණය : හිටපු ඇමති රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු 3 දෙනෙක් අත්අඩංගුවට

0 9

මෙහෙකාර සේවයේ සිටි 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ මෙහෙකාර සේවයේ යොදවා සිටි 16 හැවිරිදි දැරිය පිළිස්සුම් තුවාල සහිතව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ, බිරිඳගේ පියා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඊට අමතරව දැරිය කොළඹට රැගෙන ආ ඩයගම ප්‍රදේශයේ පදිංචි තැරැව්කරු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 72 ක රැඳවුම් නියෝගයක් ලබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

මෙම සිද්ධියට අදාළව විමර්ශන පැවැත්වූ බොරැල්ල පොලීසිය, කොළඹ දකුණ අපරාධ විමර්ශන ඒකකය සහ කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශය ඊට අදාළව ප්‍රකාශ 20 කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කරගෙන තිබෙනවා.

එසේම විමර්ශන සඳහා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කරුණු, පරිවේෂණීය සාක්ෂි, විද්‍යාත්මක සාක්ෂි, තාක්ෂණික සාක්ෂි සහ බැංකු වාර්තා ආදිය ද උපයෝගි කර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකරයා සඳහන් කළා. 

ඒ අනුව මේ සම්බන්ධ පූර්ණ විමර්ශනයේදී දැරිය කෘෘරත්වයට භාජනය කර ඇති බවත්, දැරිය කොළඹට රැගෙනවිත් කෘෘරත්වයට භාජනය කරමින් මෙහෙකාර සේවයේ යෙදවීම, තැනැත්තන් වෙළඳාම නමැති වරද සිදු කර ඇති බවටත් අනාවරණය වී ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. 

මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශන සඳහා සහයවීමට නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක්ද පත් කර තිබෙනවා. 

You might also like
Comments
Loading...