ඇසළ පුන් පොහෝ දිනය අදයි

0 131

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඇසළ පුර පසළොස්වක පොහොය අදට(23) යෙදී තිබෙනවා.

සිදුහත් කුමාරයා මව් කුස පිළිසිඳ ගැනීම, මහාභිනිෂ්ක්‍රමණය මෙන්ම රාහුල කුමාරයාගේ උත්පත්තිය සිදුව ඇත්තේද අදවන් ඇසළ පුන් පොහෝ දිනකදීයි.

සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහමායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකදීයි.

සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකදීයි.

එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද අද වැනි ඇසළ පෝය දිනකදීයි.

එසේම මාතා දිව්‍ය රාජයා ඇතුළු දෙවියන්ට විජයම්බණ දේශනා කිරීමද අද වැනි ඇසළ පුන්පොහෝ දිනක සිදුව ඇති බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ.

ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකදීයි.

තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක්මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනයක සිදුවිය.

ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමට රජගහනුවර වැඩමකර වස් එළැඹ මූලික කටයුතු ආරම්භ කිරීම, ප්‍රථම ඛණ්ඩ සීමාව සාංඝික කිරීම සිදු ව ඇත්තේද අද වැනි ඇසළ පුන් පොහෝ දිනකදීයි.

කොණඩඤ්ඤ තවුසාගේ සෝවාන් වීමද අද වැනි ඇසළ පුන්පොහෝ දිනකදී සිදුව තිබෙනවා. 

කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම සිදුවූයේද ඇසල පොහෝ දිනයකයි.

විහාරස්ථානවල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසළ පොහෝ දිනදීයි. 

අරිෂ්ඨ කුමාරු ප්‍රධාන සිංහලයන් සපනස් දෙනාගේ මහණ උපසම්පදාව තුම්බුරු සීමා මාලකයේදී සිදු කිරීම, බුද්ධ වර්ෂ 382දී දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑ රඳුන් ඉදිකිරීම සඳහා මුල් ගල තැබීම සහ මහ සෑයේ ධාතු නිධානය අනේප්‍රකාර ප්‍රාතිහාරයනය් මැද සිදුවීමද අද වැනි ඇසළ පොහෝ දිනකදී සිදුව තිබෙනවා.

 

Hits: 3

You might also like
Comments
Loading...